ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නව නායකයා ලෙස කුසල් මෙන්ඩිස් පත්කෙරේ
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නව නායකයා ලෙස කුසල් මෙන්ඩිස් නම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව අද (08) පස්වරුවේ තීරණය කළේය.
ඒ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවැති විශේෂ සාකච්ඡාවකින් අනතුරුවය. ධනංජය ද සිල්වා හදිසියේම ටෙස්ට් නායකත්වයෙන් ඉල්ලා අස්වීමත් සමඟ හිස්වූ ධුරය සඳහා කුසල් මෙන්ඩිස් මෙලෙස පත්කර තිබේ.
මෙය ඔහු ශ්‍රී ලංකා ටෙස්ට් නායකත්වයට පත් වූ පළමු අවස්ථාව වන අතර, ඒ අනුව ඔහු ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම මෙහෙයවන 19 වන නායකයා ලෙස ඉතිහාසයට එක්වෙයි.
නවකයින්ට අවස්ථාව ලබාදීමේ අරමුණින් තමන් වහාම ක්‍රියාත්මක වන පරිදි නායකත්වයෙන් ඉවත්වන බව ධනංජය ද සිල්වා අද උදෑසන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත දැනුම් දී තිබුණි.
කෙසේ වෙතත්, ඔහු තවදුරටත් ක්‍රීඩකයෙකු ලෙස කණ්ඩායම නියෝජනය කිරීමට නියමිතය. වත්මන් එක්දින සහ විස්සයි20 කණ්ඩායම්වලද නායකත්වය හොබවන 31 හැවිරිදි කුසල් මෙන්ඩිස්, 2015 වසරේදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව ජාත්‍යන්තර වරම් හිමිකර ගත්තේය.
ඔහු මේ වන විට ටෙස්ට් තරග 75ක ඉනිම් 139කට ක්‍රීඩාකර ශතක 10ක් සහ අර්ධ ශතක 23ක් සමඟින් ලකුණු 4,836ක් රැස්කරගෙන සිටියි. ඉදිරියේදී පාකිස්තානයේදී පැවැත්වීමට නියමිත තරග 2කින් සමන්විත ටෙස්ට් තරගාවලිය, ටෙස්ට් නායකයා ලෙස කුසල් මෙන්ඩිස්ගේ පළමු රාජකාරිය වනු ඇත.