තීරණාත්මක ජනාධිපතිවරණයෙන් පසු පේරු රාජ්‍යයට නව ජනපතිවරියක්
ලතින් ඇමෙරිකානු කලාපයට අයත් පේරු රාජ්‍යයේ පැවැති අතිශය තීරණාත්මක ජනාධිපතිවරණයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර ගැනීමට දක්ෂිණාංශික දේශපාලන ප්‍රවාහය නියෝජනය කළ කීකෝ ෆුජිමෝරි මහත්මිය සමත්ව තිබේ.
සති කිහිපයක පුළුල් සමාලෝචන ක්‍රියාවලියකින් සහ ඡන්ද ප්‍රතිඵල නැවත පරීක්ෂාවකින් අනතුරුව පේරු මැතිවරණ අධිකරණය විසින් නිල අවසන් ප්‍රතිඵලය මේ වන විට සහතික කර ප්‍රකාශයට පත් කර ඇත.
ඒ අනුව 51 හැවිරිදි වියේ පසුවන කීකෝ ෆුජිමෝරි සියයට 50.135ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් ජයග්‍රහණය තහවුරු කරගෙන තිබේ.
ඇගේ ප්‍රධාන ප්‍රතිවාදියා වූ වාමාංශික දේශපාලන කඳවුරේ රොබර්ටෝ සැන්චෙස් මහතාට ලබාගත හැකි වූයේ සියයට 49.865ක ඡන්ද ප්‍රතිශතයක් පමණි. මෙහි ඇති විශේෂත්වය වන්නේ ඡන්ද 50,000කටත් වඩා අඩු අතිශය පටු ඡන්ද පරතරයකින් මෙම වාර්තාගත ජයග්‍රහණය සනිටුහන් වීමට ෆුජිමෝරි සමත් වීමයි.
පේරු රාජ්‍යයේ හිටපු ජනාධිපතිවරයකු වූ ඇල්බර්ටෝ ෆුජිමෝරිගේ දියණිය වන කීකෝ, මෙලෙස මෙරට ඉහළම ධුරය වෙනුවෙන් තරඟ බිමට අවතීර්ණ වූ සිව්වැනි අවස්ථාව මෙය වීම ද කැපී පෙනේ.
මෙවර සිය දේශපාලන ව්‍යාපාරය තුළ ඇය ඉදිරිපත් කළ ප්‍රධානතම මැතිවරණ පොරොන්දුව වූයේ රට තුළ හිස ඔසවමින් පවතින සංවිධානාත්මක අපරාධ ජාලයන් සම්පූර්ණයෙන්ම මර්දනය කිරීම සඳහා අතිශය දැඩි නෛතික පියවර ගන්නා බවයි.
සිය ජයග්‍රහණය තහවුරු වීමෙන් පසු ජාතිය අමතමින් ඇය කියා සිටියේ, පේරු රාජ්‍යයේ ජනාධිපති ධුරය වගකීම් සහගතව, අතිශය නිහතමානීව මෙන්ම ගැඹුරු යුතුකම් බලයකින් යුතුව තමන් භාරගන්නා බවයි.
තමන් බලයට පත්වූයේ ඉතා සුළු බහුතරයකින් බව සිහිපත් කළ ඇය, නව රජයේ ඉදිරි පාලන කටයුතු නිසි පරිදි සැලසුම් කිරීමට සහ පොදු මහජනතාවගේ හඬට සවන් දෙමින් විවෘත සංවාද ගොඩනැගීමට මෙම අන්තර්කාලීන සමයේ සෑම මොහොතක්ම උපයෝගී කරගන්නා බව ද වැඩිදුරටත් අවධාරණය කළාය.