ලොවම කම්පා කරමින් සොහොන් පිටියක් වූ ඉරානය - මරණ 217 ටත් වැඩියි
ඉරානයේ පවතින දැඩි ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ තවදුරටත් ප්‍රචණ්ඩ ස්වභාවයක් ගෙන තිබෙන අතර ඉන් මේ වන විට අවම ලෙස පුද්ගලයින් 217 දෙනෙකු මිය ගොස් ඇති බව සඳහන්.
ඒ අනුව ටෙහෙරානයේ රෝහල් ආරංචි මාර්ග උපුටා දක්වමින් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ අගනුවර රෝහල් හයක පමණක් මෙම මරණ සංඛ්‍යාව සටහන් වී ඇති බවයි. එමෙන්ම මියගිය අයගෙන් බහුතරයක් ආරක්ෂක අංශවල වෙඩි පහරවලට ලක්ව ඇති බව සඳහන්.
මේ අතර උද්ඝෝෂණ මධ්‍යයේ ඉරාන විප්ලවීය ආරක්ෂක බළකායේ නිලධාරියෙකු රජයේ රූපවාහිනිය ඔස්සේ දැඩි අනතුරු ඇඟවීමක් සිදු කරමින් කියා ඇත්තේ දෙමාපියන් තම දරුවන් විරෝධතාවලින් ඈත් කර තැබිය යුතු බවයි.
එමෙන්ම යම් හෙයකින් දරුවන්ට වෙඩි වැදුණහොත් ඒ පිළිබඳව පැමිණිලි කිරීමට ඉදිරිපත් නොවන ලෙසත් ඔහු දැඩිව අවධාරණය කර තිබෙන බව සඳහන්.
මේ අතර විරෝධතාකරුවන් විසින් ටෙහෙරානයේ අල්-රසූල් පල්ලියට ගිනි තබා තිබෙන අතර තත්ත්වය පාලනය කිරීමට රජය මඟින් රට පුරා අන්තර්ජාල සහ දුරකථන සේවා අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා.
කෙසේ වෙතත් ආරම්භයේදී ආරක්ෂක අංශ යම් ව්‍යාකූල තත්ත්වයක පසුවුවත් ඔවුන් මේ වන විට විරෝධතා මර්දනය කිරීමට උපරිම බලය යොදවමින් සිටියි.
ඒ අනුව මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් ඉරාන ආරක්ෂක අංශ මඟින් විරෝධතාකරුවන් ඝාතනය කළහොත් ඉරාන රජයට ඒ වෙනුවෙන් විශාල වන්දියක් ගෙවීමට සිදුවනු ඇති බවට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවා ඇත.
කෙසේ වෙතත් මෙම විරෝධතා රැල්ලට මූලික හේතුව වී ඇත්තේ රටේ පවතින දැඩි ආර්ථික අර්බුදය සහ ඉහළ යන ජීවන වියදමයි. ඉරාන මුදල් ඒකකය වන රියාල් හි අගය ඩොලරයට සාපේක්ෂව මිලියන 1.45 දක්වා වාර්තාගත ආකාරයට පහත වැටී ඇති අතර, ආහාර ද්‍රව්‍ය මිල 72% කින් සහ ඖෂධ මිල 50% කින් පමණ ඉහළ ගොස් ඇත.
තවද 2026 අයවැයෙන් බදු 62% කින් වැඩි කිරීමට රජය ගෙන ආ යෝජනාව ජනතා ආක්රෝෂය තවදුරටත් උත්සන්න වීමට හේතු වී තිබෙන බව වාර්තා වේ.
මෙම ආර්ථික පීඩනය නිසා විශේෂයෙන්ම තරුණ පරම්පරාව සහ මධ්‍යම පාන්තික ජනතාව වීදි බැස සිටියි. මේ අතර ජාතිය අමතමින් ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමෙනි පවසන්නේ මෙම විරෝධතා පිටුපස විදේශීය ඒජන්තවරුන් සිටින බවත්, ඔවුන් රට තුළ ප්‍රචණ්ඩත්වය අවුලුවන බවත්ය.
එසේම ඔහු චෝදනා කරන්නේ ඇමෙරිකානු ජනාධිපතිවරයා සතුටු කිරීමට ඇතැම් පිරිස් පොදු දේපළවලට හානි කරන බවයි.
එහෙත් ඉස්ලාමීය ජනරජය විදේශීය කුමන්ත්‍රණ හමුවේ පසුබට නොවන බවට ඔහු අවධාරණය කරයි.
මේ අතර වත්මන් ජනාධිපති මසූද් පෙෂෙස්කියන් මෘදු ස්ථාවරයක් පෙන්නුම් කළද, ඔහුගේ කැබිනට් මණ්ඩලයේ බොහෝ අමාත්‍යවරුන් දැඩි ක්‍රියාමාර්ග ගැනීමට රජයට බලපෑම් කරමින් සිටින බව සඳහන්.
ඊට අමතරව වසර 50කට ආසන්න කාලයක් ඇමෙරිකාවේ පිටුවහල්ව සිටින ඉරානයේ ඔටුන්න හිමි කුමරු රේසා පහ්ලවි, තමන් යළි රටට පැමිණ ජනතාව සමග විරෝධතාවලට එක්වීමට සූදානම් බව සමාජ මාධ්‍ය ඔස්සේ නිවේදනය කර ඇත.
එබැවින් විරෝධතාකරුවන් බොහෝ දෙනෙකු වත්මන් ආගමික පාලනය වෙනුවට ලෞකික සහ ප්‍රජාතන්ත්‍රවාදී විකල්පයක් වශයෙන් පහ්ලවිගේ පැමිණීම බලාපොරොත්තු වන අතර, ඔහුගේ ආගමනයෙන් ආර්ථික ස්ථාවරත්වය සහ ජාත්‍යන්තර පිළිගැනීම ලැබෙනු ඇතැයි ඔවුන් විශ්වාස කරන බව සඳහන්.
ඒ අතරතුර ඉරානයේ දෙවන විශාලතම නගරය සහ ප්‍රධාන ආගමික මධ්‍යස්ථානයක් වන මෂාද් නගරය දැනටමත් ආරක්ෂක අංශ අතහැර දමා ඇති බවත්, එය සම්පූර්ණයෙන්ම විරෝධතාකරුවන්ගේ පාලනයට නතුව ඇති බවත් ඇමෙරිකානු ජනාධිපති ට්‍රම්ප් ප්‍රකාශ කර ැති බව සඳහන්.