ලාංකිකයාට ඉන්දියානු අධිකරණයෙන් දෙහි කපයි !
ඉන්දියාවේ රැකවරණය පතා ශ්‍රී ලාංකික දෙමළ ජාතිකයකු විසින් ඉන්දීය අධිකරණය හමුවේ ඉල්ලීමක් කර තිබෙනවා. නමුත් එලෙස ඉල්ලා ඇති එම ඉල්ලීම ඉන්දීය අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටියා.
අදාළ පුද්ගලයා විසින් ඉන්දීය අධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර ඇත. එමගින් ඔහු දන්වා ඇත්තේ සිය මව් රට තුලදී තමාගේ ජීවිතය අනතුරේ පවතින බව ය. ඒ හේතුවෙන් තමන් හට ඉන්දියාවේ සරණාගතභාවට ලබා දෙන ලෙස ඉල්ලා සිටින බවයි.
කෙසේ වෙතත් අදාළ ඉල්ලීම ප්‍රතික්ෂේප කර විසිනිසුරුවරුන් පවසා සිටියේ ලොව පුරා සිටින සරණාගතයින්ට නවාතැන් ගත හැකි ධර්මශාලාවක් බවට ඉන්දියාව පත්ව නොමැති බවයි.
අදාළ පෙත්සම්කරු 2015 වසරේදී LTTE ත්‍රස්තවාදී සංවිධානය සමග සම්බන්ධ බවට සැක පිට අත්අඩංගුවට ගත් අයෙකු බව සඳහන්. එසේම මොහු 2018 වසරේදී නඩු විභාගයකින් පසු නීති විරෝධී ක්‍රියාකාරකම් වැළැක්වීමේ පනත යටතේ වරදකරු කර වසර 10ක සිර දඬුවමක් නියම කළ අයෙකු බවත් ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර සිටියා .
මදුරාසි මහාධිකරණය විසින් 2022 වසරේදී අදාළ පුද්ගලයාගේ සිර දඬුවම වසර 7ක් දක්වා අඩු කර ඇති අතර සිර දඬුවම අවසන් වූ වහාම රටින් පිටුවහල් කිරීමට පෙර සරණාගත කඳවුරක රැඳි සිටින ලෙසත් අධිකරණය විසින් නියෝග කර ඇත.
කෙසේ නමුත් තමා වීසා බලපත්‍රයක් මගින් ඉන්දියාවට පැමිණි බව පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයට පවසා තිබෙනවා. එසේම ඔහු තව දුරටත් කියා සිටියේ තම මව් රට තුලදී තමන්ගේ ජිවිතයට අනතුරක් ඇති බවය .
එමෙන්ම තම බිරිඳ සහ දරුවන් ඉන්දියාවේ පදිංචි බවත්, තමන්ව වසර 3කට ආසන්න කාලයක් පිටුවහල් කිරීමේ ක්‍රියාවලිය ආරම්භ නොකර රඳවාගෙන සිටින බවත් ඔහු කියා සිටියා .
ඊට ප්‍රතිචාර වශයෙන් විනිසුරුවරයෙකු විමසා ඇත්තේ ලොව පුරා සිටින සරණාගතයින්ට ඉන්දියාව සත්කාරකත්වය ලබා දිය යුතු ද යන්නයි . එමෙන්ම ඉන්දියාව කොටි 140ක ජනතාවක් සමග අරගල කරන බවත් මේ හේතුවෙන් සෑම තැනකම සිටින විදේශිකයින්ට සංග්‍රහ කළ හැකි ධර්මශාලාවක් බවට ඉන්දියාව පත්ව නැති බවත් විනිසුරුවරයා පෙත්සම්කරුට දන්වා තිබෙනවා.
කෙසේ වෙතත් මෙහිදී පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥයා අධිකරණය හමුවේ ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වැනි වගන්තිය වන ජීවිතය සහ නිදහස ආරක්ෂා කිරීම සහ භාෂණයේ නිදහස ඇතුලු මූලික අයිතිවාසිකම් යටතේ මේ සම්බන්ධව තර්ක කර තිබේ.
එහිදී විනිසුරුවරයා විසින් පවසා ඇත්තේ එකී වගන්ති ඉන්දීය පුරවැසියන්ට පමණක් ලබා ගත හැකි බවය.
එමෙන්ම ඉන්දියාවේ පදිංචි වීමට අදාළ පෙත්සම්කරුට ඇති අයිතිය කුමක්ද යන්නත් විනිසුරුවරයා විමසා ඇති අතර එයට පිළිතුරු ලබා දෙමින් පෙත්සම්කරුගේ නීතීඥවරයා ඔහු සරණාගතයෙකු බැවින් ඔහුගේ ජීවිතය ලංකාවේ අනතුරේ පවතින බවත් අවධාරණය කර තිබේ.
කෙසේ නමුත් ඊට පිළිතුරු ලබා දෙමින් ඉන්දීය අධිකරණය පෙත්සම්කරුට දන්වා ඇත්තේ ඉන්දියාවේ රැකවරණය ලබා දීමට නොහැකි බවත් ජීවිතය අනතුරේ ඇත්නම් වෙනත් රටකට යන ලෙසය.