ඇමෙරිකාවේ දැවැන්ත වානේ කර්මාන්ත ශාලාවක් - ඉන්දියානු සමාගමකින්ත් විශාල ආයෝජනයක්
ඉතිහාසයේ විශාලතම වානේ කර්මාන්ත ශාලාව ඇමෙරිකාවේ ඉදිකිරීමට ඉන්දීය Essar සමාගම සැරසෙයි ඉන්දීය Essar සමූහය ඇමෙරිකාවේ ඩොලර් බිලියන 18ක ආයෝජනයක් සිදු කිරීමට සැලසුම් කර ඇති අතර, ඉන් ඩොලර් බිලියන 15ක් අයෝවා ප්‍රාන්තයේ දැවැන්ත වානේ කර්මාන්ත ශාලාවක් ඉදිකිරීම සඳහා යොදවන බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
ට්‍රම්ප් ධවල මන්දිරයේ පැවති උත්සවයකදී මෙම ව්‍යාපෘතිය නිවේදනය කර ඇති අතර, එම අවස්ථාවට Essar සමූහයේ හිමිකාරීත්වය දරන රූයා පවුලේ සාමාජිකයන්ද එක්ව සිට තිබේ.
Essar සමූහයට අයත් ඇමෙරිකානු සමාගමක් වන Mesabi Metallics විසින් මෙම වානේ කර්මාන්ත ශාලාව ඉදිකිරීමට නියමිතය. මිනසෝටා ප්‍රාන්තයේ සමාගම සතු යකඩ ඛනිජ මෙහෙයුම්වලින් ලබාගන්නා යකඩ ඛනිජ ද මෙම ඒකාබද්ධ වානේ නිෂ්පාදන සැපයුම් දාමයට යොදා ගැනීමට නියමිත බව සඳහන් වේ.
ට්‍රම්ප් මෙම ව්‍යාපෘතිය “ඇමෙරිකානු ඉතිහාසයේ විශාලතම වානේ කර්මාන්ත ශාලාව” ලෙස හඳුන්වා තිබේ.
කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන කටයුතු 2030 වසරේදී ආරම්භ කිරීමට සැලසුම් කර ඇති අතර, සම්පූර්ණයෙන් ඉදිකර අවසන් වූ පසු වාර්ෂිකව වානේ මෙට්‍රික් ටොන් මිලියන 10ක් පමණ නිෂ්පාදනය කිරීමට අපේක්ෂා කෙරේ.
ධවල මන්දිරය පවසන්නේ වානේ නිෂ්පාදන ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම ඇමෙරිකාව තුළ සිදු කිරීමට නියමිත බවයි. ට්‍රම්ප් සඳහන් කර ඇත්තේ ඇමෙරිකානු වානේ කර්මාන්තය යළිත් වේගයෙන් වර්ධනය වෙමින් පවතින බවයි.
පසුගිය වසරේ වානේ ආනයන සඳහා පනවන ලද 50%ක තීරුබදු හේතුවෙන් සමාගම් ඇමෙරිකාව තුළම කර්මාන්තශාලා ඉදිකිරීමට පෙළඹී ඇති බවද ඔහු පවසා තිබේ.
Mesabi Metallics සභාපති Rewant Ruia ට්‍රම්ප් පාලනයේ දේශීය නිෂ්පාදන කර්මාන්තය කෙරෙහි අවධානය යොමු කිරීම අගය කරමින්, ඇමෙරිකාව තුළ නිෂ්පාදන කටයුතු සිදු කිරීමේ වැදගත්කම යළි අවධාරණය කිරීම සම්බන්ධයෙන් ට්‍රම්ප්ට ස්තූතිය පළ කර තිබේ.
Essar සමූහය ගැන Essar සමූහය ඉන්දියාවේ ෂාෂි රූයා සහ රවි රූයා සහෝදරයන් විසින් 1969 වසරේදී ආරම්භ කළ කර්මාන්ත සමූහයකි. බලශක්ති, පතල්, තාක්ෂණ සහ සිල්ලර වෙළෙඳාම ඇතුළු ක්ෂේත්‍ර රැසක එය ව්‍යාපාර පවත්වාගෙන යයි.
එහි ඇමෙරිකානු අනුබද්ධ සමාගමක් වන Mesabi Metallics මිනසෝටා ප්‍රාන්තයේ පිහිටා ඇති අතර, එය 2007 වසරේදී Minnesota Steel සමාගම අත්පත් කරගෙන තිබේ.
එම සමාගම සතුව යකඩ ඛනිජ සම්පත් ටොන් බිලියන 1.4කට වැඩි ප්‍රමාණයක් පවතින බව සඳහන් වේ. Mesabi Metallics ප්‍රධාන විධායක නිලධාරී Joe Broking පවසා ඇත්තේ මෙම ව්‍යාපෘතිය ඇමෙරිකාවේ නිෂ්පාදිත වානේ සඳහා වැදගත් අවස්ථාවක් වනු ඇති බවයි.
ජාතික ආරක්ෂාව, මෝටර් රථ, ට්‍රක් රථ, නැව් නිෂ්පාදනය, ගෘහ උපකරණ, බලශක්ති සහ යටිතල පහසුකම් ඇතුළු ක්ෂේත්‍ර රැසකට අවශ්‍ය වානේ සැපයීමට මෙම කර්මාන්ත ශාලාව දායක වනු ඇති බවද ඔහු සඳහන් කර තිබේ.