“වෙළෙඳුන් ජලය මත පාවෙන ප්ලාස්ටික් පෙට්ටි සහ බැරල් මත වෙළෙඳාම් කරයි” - ජලයෙන් යට වූ බැංකොක් නගරයට අකරතැබ්බයක්

By Malith Madushan Sep 28, 2026 10:59 AM GMT
Report

තායිලන්තයේ බැංකොක් නගරයට දින දෙක තුනක් ඇතුළත මිලිමීටර් 320කට ආසන්න වර්ෂාපතනයක් ලැබීමත් සමඟ නගරයේ ප්‍රදේශ රැසක් ඉණ මට්ටම දක්වා ජලයෙන් යටවී තිබේ.

මෙම වර්ෂාපතනය බැංකොක් නගරයට සාමාන්‍යයෙන් සැප්තැම්බර් මාසය පුරා ලැබෙන වර්ෂාපතනයට ආසන්න ප්‍රමාණයක් වන බව වාර්තා වේ.

අධික වර්ෂාව හේතුවෙන් නිවාස, වෙළෙඳසැල් සහ මාර්ග රැසක් ජලයෙන් යටවීමත් සමඟ බැංකොක් නගරය “ආපදා බලපෑමට ලක් වූ කලාපයක්” ලෙස ප්‍රකාශයට පත් කර ඇත.

ප්‍රදේශවාසීන් සහ සංචාරකයන් සමාජ මාධ්‍ය වෙත එක් කළ වීඩියෝවල දැක්වෙන්නේ ඇතැම් ප්‍රදේශවල ජනතාව ඉණ මට්ටම දක්වා වූ ජලය මැදින් ගමන් කරන ආකාරයයි. බැංකොක් ආසන්න පතුම් තානි ප්‍රදේශයේ පදිංචිකාරිනියක වන සුනිසා මනෝරා පවසන්නේ තමන් වසර ගණනාවක් තුළ දැක ඇති දරුණුතම ගංවතුර තත්ත්වයක් මෙය බවයි.

ප්‍රධාන මාර්ග පවා ජලයෙන් යටවීම හේතුවෙන් BTS දුම්රිය ස්ථාන වෙත ළඟාවීමට නොහැකි වී ඇති බවත්, ටුක්-ටුක් රථ නොමැති අතර මාර්ගගත කුලී රථයක් ලබා ගැනීමට පැයකට වැඩි කාලයක් බලා සිටීමට සිදුවන බවත් ඇය සඳහන් කර තිබේ.

“ඉරාන ආධ්‍යාත්මික නායක මොජ්ටබා සුන්බුන් අතරින් දිවි බේරාගත් බව කියයි” - මොජ්ටබා ඇමෙරිකානු ප්‍රහාර දෙකකින් බේරුණාද?

“ඉරාන ආධ්‍යාත්මික නායක මොජ්ටබා සුන්බුන් අතරින් දිවි බේරාගත් බව කියයි” - මොජ්ටබා ඇමෙරිකානු ප්‍රහාර දෙකකින් බේරුණාද?

එමෙන්ම ගංවතුර තත්ත්වය හේතුවෙන් ආහාර බෙදාහැරීමේ සේවා ද නතර වී ඇති අතර, ඇතැම් වෙළෙඳසැල්වල අත්‍යවශ්‍ය භාණ්ඩ අවසන් වී ඇති බව වාර්තා වේ.

සති අන්තයේදී ජනතාව අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට කඩිනමින් පැමිණීමත් සමඟ ඇතැම් වෙළෙඳසැල්වල භාණ්ඩ හිඟයක් ඇති වූ බව AFP පුවත් සේවය වාර්තා කර ඇත. ඇතැම් වෙළෙඳුන් ජලය මත පාවෙන ප්ලාස්ටික් පෙට්ටි සහ බැරල් භාවිත කරමින් වෙළෙඳාම් සිදුකර ඇති බව ද සඳහන් වේ.

අධික වර්ෂාව හේතුවෙන් මාර්ග ප්‍රවාහනය දැඩි ලෙස අඩාල වී ඇති අතර, ඇතැම් ප්‍රදේශවල විදුලිය සහ පානීය ජල සැපයුම ද බිඳවැටී තිබේ. නැගෙනහිර බැංකොක්හි බෑං කපි ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි නට්ටපොන් මන්කීයන් පවසා ඇත්තේ තම මහල් නිවාස සංකීර්ණයේ විදුලිය සහ ජලය නොමැතිවීම හේතුවෙන් තම පෙම්වතිය සහ බළලුන් දෙදෙනා සමඟ එම ස්ථානයෙන් ඉවත් වූ බවයි.

බැංකොක් නගර පරිපාලනයට අනුව, මේ වනවිට අවම වශයෙන් 5,901 දෙනෙකු ආරක්ෂිත මධ්‍යස්ථාන 234කට යොමු වී තිබේ. කෙසේ වෙතත්, ගංවතුර තත්ත්වය හේතුවෙන් බැංකොක්හි නිවාසවලින් පිටවීමට නොහැකිව 80,000කට වැඩි පිරිසක් තවදුරටත් රැඳී සිටින බව තායිලන්ත අභ්‍යන්තර කටයුතු අමාත්‍ය උන්සිත් සම්පුන්තරත් සඳහන් කර ඇත.

ගංවතුර තත්ත්වය පවතින කාලය තුළ සහ ජලය බැස ගිය පසු තවත් දින හතක්වත් ජනතාවට දිනකට ආහාර වේල් තුනක් ලබාදීම අරමුණු කරමින් ජංගම මුළුතැන්ගෙවල් සහ බෝට්ටු යොදා ගනිමින් සහන මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව ඔහු පවසා තිබේ.

මුහුදු මට්ටමේ සිට මීටර් 1.5ක් පමණක් ඉහළින් මෘදු මැටි සහිත ගංගා ඩෙල්ටාවක පිහිටි බැංකොක් නගරය වසරකට මිලිමීටර් කිහිපයකින් පහළට ගිලා බසින තත්ත්වයක පවතින බව සඳහන් වේ. මිලියන 8.4කට වැඩි ජනගහනයක් සිටින නගරයට මාස හයක් පමණ පවතින වැසි සමයේදී නිරන්තරයෙන් ගංවතුර තර්ජනවලට මුහුණදීමට සිදුවේ.

සැප්තැම්බර් 16 වැනිදා සිට තායිලන්තයේ පළාත් 41කට ගංවතුර බලපා ඇති අතර, පුද්ගලයන් අවම වශයෙන් අට දෙනෙකු මියගොස් නිවාස 580,000කට වැඩි ප්‍රමාණයකට බලපෑම් එල්ල වී ඇති බව එරට අමාත්‍යාංශය සඳහන් කරයි.

ගංවතුර හේතුවෙන් රට පුරා සිදුවිය හැකි ආර්ථික හානිය තායි බාට් බිලියන 11ක් හෙවත් ඇමරිකානු ඩොලර් මිලියන 327ක් පමණ විය හැකි බව රැන්සිට් විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ ආචාර්ය ආත් පීසන්වානිච් පවසයි.

ඔහුට අනුව, මෙම ගංවතුර තත්ත්වය මේ වසරේ තායිලන්තයේ දළ දේශීය නිෂ්පාදිත වර්ධනය ප්‍රතිශත ඒකක 0.3කින් අඩු කළ හැකි අතර, එමඟින් වාර්ෂික ආර්ථික වර්ධනය 2.1% දක්වා පහත වැටිය හැකිය.

මේ අතර, නැගෙනහිර කලාපයේ රයොං පළාතේ ජලාශ දෙකක් ධාරිතාව ඉක්මවා පිරී යාම හේතුවෙන් සඳුදා ජනතාව ඉවත් කිරීමට බලධාරීන් නියෝග කර තිබේ.

පසුගිය වසරේ දකුණු තායිලන්තයට බලපෑ දැවැන්ත ගංවතුර තත්ත්වයේදී දින තුනක් තුළ මිලිමීටර් 630ක වර්ෂාපතනයක් වාර්තා වූ අතර, එහිදී පුද්ගලයන් අවම වශයෙන් 145 දෙනෙකු මියගොස් නිවාස 33,000කට වැඩි ප්‍රමාණයකට හානි සිදුව තිබුණි.

ඩීසල් සහ පෙට්‍රල් සඳහා සලාක ක්‍රමයක් - වාහන ධාවනයට වේග සීමා - ලෝක බලවතාත් ඉන්ධන හිඟයෙන් බැට කයි

ඩීසල් සහ පෙට්‍රල් සඳහා සලාක ක්‍රමයක් - වාහන ධාවනයට වේග සීමා - ලෝක බලවතාත් ඉන්ධන හිඟයෙන් බැට කයි