වෛභව් සූර්යවංශිට අවස්ථාව නොදීම ගැන ඉන්දීය කළමනාකාරිත්වයට විවේචන
ඉන්දීය T20 ක්රිකට් කණ්ඩායමේ ක්රීඩකයන් තෝරාගැනීමේදී නිරන්තරයෙන් වෙනස්කම් සිදු කිරීම තරුණ පිතිකරු වෛභව් සූර්යවංශිගේ සහ සංජු සැම්සන්ගේ විශ්වාසයට බලපා ඇති බව 1983 එක්දින ලෝක කුසලානය දිනූ ඉන්දීය කණ්ඩායමේ සාමාජික ක්රිෂ්ණමාචාරි ශ්රීකාන්ත් පවසයි.
ඉන්දීය කණ්ඩායම් කළමනාකාරිත්වයේ තීරණ විවේචනය කරමින් ඔහු පෙන්වා දෙන්නේ වෛභව්ට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව තරග තුනක් ක්රීඩා කිරීමට අවස්ථාව ලබාදිය හැකිව තිබූ බවයි.
ඉන්දීය T20 කණ්ඩායමේ ආරම්භක පිතිකරු ස්ථාන සඳහා අභිෂේක් ශර්මා, සංජු සැම්සන් සහ ඉෂාන් කිෂාන් වැනි දක්ෂ ක්රීඩකයන් රැසක් සිටින බැවින් කණ්ඩායමේ ස්ථාන තෝරාගැනීමේදී තරගකාරීත්වයක් පවතී.
වෛභව් සූර්යවංශි ඉන්දීය කණ්ඩායමට එක්වීමෙන් පසු ඔහු සහ සැම්සන් අතර අවස්ථා ලබාදීම සම්බන්ධයෙන් වෙනස්කම් සිදුව ඇති බව වාර්තාවේ දැක්වේ.
අයර්ලන්තය සහ එංගලන්තය සමඟ පැවති තරග සංචාර සඳහා මුලින් සැම්සන් තෝරාගෙන තිබූ අතර, ඔහු එම තරගවලදී ලකුණු 5ක්, 0ක් සහ 1ක් ලබාගෙන තිබේ.
අනතුරුව දෙවැනි T20 තරගයේදී ජාත්යන්තර T20 වරම් හිමිකරගත් වෛභව් තරග තුනකදී ලකුණු 14ක්, 13ක් සහ 15ක් රැස් කළේය. එංගලන්තයට එරෙහි පස්වැනි T20 තරගයේදී නැවත කණ්ඩායමට එක්වූ සැම්සන් ලකුණු 27ක් ලබාගත් අතර, පසුව පැවති සිම්බාබ්වේ සංචාරය සඳහා ඔහු විවේක ගන්වා තිබිණි.
එම සංචාරයේදී වෛභව් ලකුණු 50ක්, 20ක් සහ 81ක් රැස් කළේය. ශ්රීකාන්ත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේ, සැම්සන්ගේ විශ්වාසය පමණක් නොව වෛභව්ගේ විශ්වාසය ද ඉන්දීය කණ්ඩායම විසින් බිඳ දමා ඇති බවයි.
අභිෂේක් ශර්මාට දිගටම අවස්ථාව ලබාදී ඇති බැවින් ඔහුට විවේකයක් ලබාදී, ඊළඟ තරගයේදී වෛභව් සහ සැම්සන් ආරම්භක පිතිකරුවන් ලෙස යොදාගත හැකි බව ද ඔහු යෝජනා කළේය.
එමෙන්ම සැම්සන්ගේ දක්ෂතා පිළිබඳ අදහස් දක්වමින් ශ්රීකාන්ත් පවසා ඇත්තේ ඔහුගේ දක්ෂතා අතර විශාල උච්චාවචනයන් දක්නට ලැබෙන බවයි.
2026 T20 ලෝක කුසලානය ඉන්දියාව ජයගත් අවස්ථාවේ අවසන් තරගය ඇතුළු තරග කිහිපයකදී සැම්සන් හොඳින් ක්රීඩා කළ ද, ඉන් පසුව ඔහුගේ දක්ෂතා පහත වැටී ඇති බව ද ඔහු පෙන්වා දී තිබේ.