දැඩි මතභේදයට තුඩු දුන් ලොවම බලන් සිටි 15 තරගයට විශේෂ ආරක්ෂාවක් - ලංකාවටත් විශාල වගකීමක්
විස්සයි 20 තරගයට අදාළව ලබන15 වැනි දින කොළඹදී පැවැත්වීමට නියමිත ඉන්දු - පාකිස්තාන ක්‍රිකට් තරගය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවා ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කරයි.
ඒ අනුව අද (10) දින පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ පාකිස්තාන රජය මඟින් මින් පෙර මෙම තරගයට එක් නොවීම සම්බන්ධව ගත් තීරණය පසුව ශ්‍රී ලංකාවේ මැදිහත් වීමෙන් වෙනස් කිරීමට ගත් තීරණය සම්බන්ධව රජයක් වශයෙන් අගය කරන බවයි.
එසේම කලාපයේ රටවල් අතර සහයෝගීතාවය වර්ධනය කිරීමේදී ක්‍රිකට් ක්‍රීඩාව උපයෝගී කරගනිමින් රටවල් අතර මිත්‍රත්තවය සහ සහයෝගීතාවය වර්ධනය කිරීමේදී රටක් වශයෙන් ශ්‍රී ලංකාවට මැදිහත් වීමට අවස්ථාවක් ලැබෙන්නේ නම් රජයක් ලෙස එම මැදිහත් වීම නොපිරිහෙළා ඉටු කිරීමට රජය සූදානම් බවද ඔහු එහිදී සඳහන් කර ඇත.
මේ සම්බන්ධව වැඩිදුරටත් අදහස් දැක්වූ කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කියා සිටියේ,
"කලාපයේ පවතින විවිධ ප්‍රශ්න මැද මේ ඉන්දු - පකිස්තාන තරගය නොපැවැත්වීමේ තත්ත්වයක් තමයි තිබුණේ. මේකට රජය හැටියටත් පහුගිය දවස් කීපය පුරාවටම විවිධාකාර මැදිහත්වීම් සිදුකරා. එහි අවසන් ප්‍රතිඵලය හැටියට අපිට දැන් මේ තරගය පවත්වන්නට අවස්ථාව ලැබිලා තියෙනවා. විශේෂයෙන්ම මේ වෙලාවේ ICC එක සහ අපේ ක්‍රිකට් ආයතනය වගේම මැදිහත් වෙච්ච කණ්ඩායම් කිහිපයක්ම හිටියා. ජනාධිපතිතුමා පාකිස්ථාන අගමැතිතුමා එක්ක දුරකතනයෙන් මේ පිළිබඳව විශේෂයෙන් සාකච්ඡාවක් කළා. ඒ පිළිබඳව පාකිස්තාන රජයත් මේ පිළිබඳව නිල වශයෙන් දැනුම්දීලා තිබෙනවා... රටක් හැටියට අපි සතුටු වෙනවා මේ දෙරට අතර තරගය ලංකාවේ පවත්වන්නට හැකි වීම ගැන. අනිත් පැත්තෙන් කලාපයේ රටවල් අතර සහයෝගීතාවය වර්ධනය කිරීමේදී ක්‍රිකට් ක්‍රීඩාව උපයෝගී කරගෙන රටවල් අතර මිත්‍රත්තවය, සහයෝගීතාවය වර්ධනය කිරීමේදී රටක් හැටියට අපිට මැදිහත් වීමට යම් හෝ අවස්ථාවක් ලැබෙනවානම් ඒක රජයක් හැටියට නොපිරිහෙළා ඉටු කරන්න අපි කටයුතු කරනවා. අපි ඒ සියලු කණ්ඩායම්වලට ආරාධනා කළේ ආරක්ෂාව සම්බන්ධව වගකීම අපි අරගෙන. උපරිම ආරක්ෂාව අපි ලබා දෙනවා. පොලීසිය විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරලා තිබෙන්නේ. මම හිතනවා විශාල ප්‍රේක්ෂක සංඛ්‍යාවක් මේ තරගය නරඹන්නට පැමිණෙන්නට අපේක්ෂාවෙන් ඉන්නවා ඇති ඒ ගැනත් හිතලා තමයි විශේෂ රථවාහන සැලැස්ම ක්‍රියාත්මක කරන්නේ."