අදත් සවස වැසි - වැසි සහිත කාලගුණය හේතුවෙන් නායයෑමේ අවදානම්
ශ්‍රී ලංකාව ආශ්‍රිතව පවතින පහළ වායුගෝලීය කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසකට අද (2026 මැයි 10) දිනයේදීත් තද වැසි සහ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරු 1.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, වයඹ සහ උතුරු-මැද පළාත්වලත් ගාල්ල, මාතර සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 100 ඉක්මවූ තද වැසි ඇතිවීමේ හැකියාවක් පවතී.
මීට අමතරව බස්නාහිර, දකුණු සහ උතුරු පළාත්වල උදෑසන කාලයේදීත් වැසි ඇතිවිය හැකි බවත්, මධ්‍යම, සබරගමුව, ඌව පළාත්වල සහ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවත් වාර්තා වේ.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙස කාලගුණ අංශ මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.
විශේෂයෙන්ම ගිගුරුම් සහිත වැසි පවතින අවස්ථාවලදී විවෘත ස්ථානවල රැඳී සිටීමෙන් සහ විදුලි උපකරණ භාවිතයෙන් වැළකී සිටීම වැදගත්ය.
අඛණ්ඩව පවතින මෙම වැසි සහිත කාලගුණය හේතුවෙන් නායයෑමේ අවදානම් සහිත ප්‍රදේශවල සහ පහත්බිම් ආශ්‍රිතව පදිංචි ජනතාව අවදියෙන් සිටිය යුතුය.