කොළඹ ඉදන් අන්තිම බස් එකෙන් හොරණ ඇවිත් ලක්ෂ ගාණක ෆෝන් සොරකම් කළ හොරා කොටු
හොරණ නගරයේ සිදුවූ මහා පරිමාණ සොරකමකට අදාළව රුපියල් ලක්ෂ 23කට ආසන්න වටිනාකමකින් යුත් නවීන ජංගම දුරකථන තොගයක් සමඟ ප්‍රධාන සැකකරු ඇතුළු පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට හොරණ මූලස්ථාන පොලිසිය සමත්ව තිබේ.
මෙලෙස නීතියේ රැහැනට හසුකරගෙන ඇත්තේ කොළඹ, ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි ප්‍රධාන අපරාධකරු සහ සොරකම් කරන ලද භාණ්ඩ විකිණීමේ අරමුණින් ළඟ තබාගෙන සිටි තවත් පුද්ගලයන් දෙදෙනෙකි.
පොලිස් විමර්ශනවලට අනුව, පසුගිය ජුනි මස 24 වැනිදා අලුයම් කාලයේදී හොරණ නගර මධ්‍යයේ පිහිටි ජංගම දුරකථන වෙළෙඳසැලක් සහ ආපනශාලාවක් බිඳ මෙම සොරකම සිදුකර ඇත.
සිද්ධියෙන් පසු දින දහයක් පුරා ක්‍රියාත්මක වූ විශේෂ පොලිස් මෙහෙයුමකදී, දුරකථන කුළුණු දත්ත විශ්ලේෂණ වාර්තා සහ සීසීටීවී (CCTV) ආරක්ෂිත කැමරා දර්ශන සියුම් ලෙස පරීක්ෂාවට ලක් කරමින් සැකකරු සැඟව සිටි ස්ථානය අනාවරණය කර ගැනීමට හැකි වී තිබේ.
අදාළ දින රාත්‍රියේ කොළඹ සිට හොරණ බලා ධාවනය වූ අවසන් බස් රථයෙන් මෙම පුද්ගලයා තනිවම පැමිණ ඇති අතර, වෙළෙඳසැල් දොරවල් හැරීම සඳහා විශේෂයෙන් සකස් කළ යකඩ කූරක් ද ඔහු සතුව තිබූ බව හෙළි විය.
එහිදී ජංගම දුරකථන අලෙවි සැලේ වීදුරු දොරේ අගුල කඩා ඇතුළු වී නවීන දුරකථන තොගය සොරාගෙන ඇති සැකකරු, අනතුරුව අසල පිහිටි ආපනශාලාවේ රෝලිං දොරේ ඉබ්බන් දෙදෙනා ද කඩා දමා තිබේ.
එහි තිබූ රුපියල් 66,000කට අධික මුදල්, බිස්කට්, විවිධ බීම වර්ග, චොකලට් සහ දුම්වැටි ද ඔහු විසින් පැහැරගෙන ඇත. ඉන්පසු හොරණ සිට කොළඹ බලා ධාවනය වූ මුල්ම බස් රථයකින් ඔහු නැවත කොළඹ බලා පළා ගොස් තිබේ.
මෙම සැකකරු සාමාන්‍ය අපරාධකරුවෙකු නොවන අතර 1993 වසරේ සිට 2015 වසර දක්වා වූ කාලය තුළ මෙවැනිම ආකාරයේ නිවාස සහ වෙළෙඳසැල් බිඳීම් ඇතුළු දරුණු අපරාධ 15ක් සම්බන්ධයෙන් අධිකරණයෙන් වරදකරු වී දඬුවම් විඳි අයෙකු බව ද පොලිසිය පවසයි.
සැකකරු ඉදිරි නෛතික කටයුතු සඳහා හොරණ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. හොරණ මූලස්ථාන පොලිස් පරීක්ෂක රංග පෙරේරා මහතාගේ ඍජු උපදෙස් මත, අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රංග දිසානායක මහතාගේ මෙහෙයවීමෙන්, උප පොලිස් පරීක්ෂක ගුණවර්ධන, පොලිස් කොස්තාපල්වරුන් වන සමන් (78839), යසිත් (94014), සඳරුවන් (88126), ලහිරු (13022) සහ කාන්තා පොලිස් කොස්තාපල් ප්‍රියංකා (8863) යන නිලධාරීහු මෙම සාර්ථක වැටලීම සිදු කළහ.