සියල්ල මවිත කරමින් උසේන් බෝල්ට්ගේ ලෝක වාර්තාවක් බිඳ දමයි
ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පැවැති 2026 ජාතික මලල ක්‍රීඩා ශූරතාවලියේදී ලොවම මවිතයට පත් කරමින් මීටර් 200 ඉසව්වෙන් නව ලෝක වාර්තාවක් පිහිටුවීමට 18 හැවිරිදි යොවුන් ධාවන ශූර ගවුට් ගවුට් (Gout Gout) සමත්ව තිබේ.
ඊයේ (අප්‍රේල් 12) පැවැති මෙම තීරණාත්මක තරගයේදී ඔහු තත්පර 19.67 ක විශ්මිත කාලයකින් ඉසව්ව නිම කළ අතර, මෙය ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයෙකු මීටර් 200 ඉසව්ව තත්පර 20 ක සීමාවෙන් පහළට නිම කළ ප්‍රථම නිල අවස්ථාව ලෙස ඉතිහාසයට එක් වේ.
මෙම දක්ෂතාවත් සමඟ ඔහු සුපිරි ධාවන ශූර උසෙන් බෝල්ට් සහ එරියන් නයිටන් සතු කර තිබූ වයස අවුරුදු 20 න් පහළ ලෝක වාර්තාව බිඳ දමමින් නව ලෝක වාර්තාවකට හිමිකම් කීමට සමත් විය.
උසෙන් බෝල්ට් එම වයසේදී සටහන් කර තිබූ තත්පර 19.93 ක කාලය අභිබවා යමින් ගවුට් ගවුට් මෙලෙස ලොව වේගවත්ම යොවුන් ක්‍රීඩකයා බවට පත්වීම විශේෂත්වයකි.
මෙහිදී ඒඩ්න් මර්ෆි ද තත්පර 19.88 කින් තරගය නිම කළ අතර, ඔවුන් දෙදෙනා ඕස්ට්‍රේලියානු මලල ක්‍රීඩා ඉතිහාසයේ මීටර් 200 ඉසව්වක වාර්තා වූ වේගවත්ම කාලයන් දෙක සටහන් කළහ.
ගවුට් ගවුට් තත්පර 20 සීමාව පසු කළ ලොව ලාබාලතම ක්‍රීඩකයෙකු ලෙස ද ඉතිහාසයට එක් වූ අතර මලල ක්‍රීඩා විචාරකයින් පවසන්නේ උසෙන් බෝල්ට්ගෙන් පසු ලෝක මලල ක්‍රීඩා පිටියට බිහි වූ සුවිශේෂීම දක්ෂතාව මොහු බවයි.
දකුණු සුඩාන සම්භවයක් ඇති ගවුට් ගවුට්, මීට පෙර අවස්ථාවක ද තත්පර 20 ට අඩු කාලයක් සටහන් කළ ද සුළඟේ වේගය නියමිත සීමාවට වඩා වැඩි වූ බැවින් එය නිල වාර්තාවක් ලෙස පිළිගැනුණේ නැත.
එබැවින් මෙම ඓතිහාසික ජයග්‍රහණය ඔහුට මෙන්ම ඕස්ට්‍රේලියානු මලල ක්‍රීඩා ක්ෂේත්රයට ද සුවිශාල කීර්තියක් ගෙන එන්නකි.