දෙවන දිනටත් ග්‍රාම නිලධාරීන් ලෙඩ නිවාඩුවේ
දිවයින පුරා ග්‍රාම නිලධාරීන් අසනීප නිවාඩු වාර්තා කර රාජකාරියෙන් වැළකී සිටීම හේතුවෙන්, ප්‍රදේශ රැසක ඔවුන්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අද (11) අඛණ්ඩව දෙවන දිනටත් ක්‍රියාත්මක වේ.
වසර අටක පමණ කාලයක සිට සංශෝධනය නොවූ රුපියල් 600ක ගමන් දීමනාව වැඩි කිරීම ඇතුළු දිගුකාලීන ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ඊයේ (10) ආරම්භ කෙරිණි.
කොළඹදී ඉරිදා (09) පැවති මාධ්‍ය හමුවකදී මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සම්මේලනයේ සභාපති නන්දන රණසිංහ සඳහන් කළේ, ඉන්ධන ලීටර් 20කට සමාන දීමනාවක් ලබාදීම සඳහා 2024 වසරේදී කැබිනට් අනුමැතිය හිමිව තිබුණද, එම ප්‍රතිලාභය මෙතෙක් ක්‍රියාත්මක කර නොමැති බවයි.
ඒ අනුව, ග්‍රාම නිලධාරීන් අසනීප නිවාඩු වාර්තා කර රාජකාරියට වාර්තා කිරීමෙන් වැළකී සිටින අතර, මෙම ක්‍රියාමාර්ගය දිවයින පුරා ක්‍රියාත්මක බව නන්දන රණසිංහ තහවුරු කළේය. වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයක පරිපාලන සේවා කටයුතුවලටද බලපෑම් එල්ල වී තිබේ.