ලෝකෙටම නරක ආරංචියක් - ජාත්‍යන්තර මූල්‍ය ආයතනයෙන් අනතුරු අඟවයි
2025 වසර අවසානය වන විට ලෝකයේ සමස්ත ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 348 ක ඓතිහාසික උපරිමයකට ළඟා වී ඇති බවට ජාත්‍යන්තර මූල්‍ය ආයතනය සිය නවතම වාර්තාව ඔස්සේ හෙළි කර ඇත.
ඒ අනුව වසංගත සමයෙන් පසුව වාර්තා වූ වේගවත්ම වාර්ෂික ණය වර්ධනය මෙය වන අතර, ගතවූ වසර තුළ පමණක් ගෝලීය ණය ප්‍රමාණයට ඩොලර් ට්‍රිලියන 29 ක් අලුතින් එකතු වී ඇති බව වාර්තා වේ.
එමෙන්ම මෙම ණය බර ඉහළ යාමට ප්‍රධානතම හේතුව වී ඇත්තේ රජයන් මඟින් ලබාගත් ණය ප්‍රමාණය ඉහළ යාම බව සඳහන්.
ඒ අතර විශේෂයෙන්ම අමෙරිකා එක්සත් ජනපදය, චීනය සහ යුරෝ කලාපය මෙම ණය වර්ධනයෙන් හතරෙන් තුනකට (3/4) වගකිව යුතු බව එම වාර්තාව දක්වයි.
එමෙන්ම ගෝලීය ණය ප්‍රමාණය ලෝක නිෂ්පාදිතයෙන් 308% ක් වශයෙන් සටහන් වේ. එසේම නැගී එන වෙළඳපලවල (Emerging markets) ණය අනුපාතය දළ දේශීය නිෂ්පාදිතයෙන් 235% ඉක්මවූ වාර්තාගත මට්ටමකට ළඟා වී ඇත.
ඒ අනුව රජයේ ණය ඩොලර් ට්‍රිලියන 106.7 ක් ලෙසත්, මූල්‍ය නොවන ආයතනික ණය ඩොලර් ට්‍රිලියන 100.6 ක් ලෙසත්, ගෘහස්ථ ණය ඩොලර් ට්‍රිලියන 64.6 ක් ලෙසත් වාර්තා වෙන බව සඳහන්.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට (IMF) අනුව 2026 වසරේදී ලෝක ආර්ථිකය 3.3% ක මට්ටමක පවතිනු ඇතැයි අපේක්ෂා කළත්, එය ඉහළ යන ණය බර සැහැල්ලු කිරීමට තරම් ප්‍රමාණවත් නොවන බව විද්වතුන් පෙන්වා දෙයි.
කෙසේ වෙතත් රාජ්‍ය මූල්‍ය හිඟය දිගින් දිගටම පැවතුණහොත් 2026 වසරේදී ද ගෝලීය ණය බර තවදුරටත් ඉහළ යා හැකි බවයි ජාත්‍යන්තර මූල්‍ය ආයතන වාර්තාව වැඩිදුරටත් අනතුරු අඟවයි.