නා උයනේ බිහිසුණු අනතුරින් අපවත්වූ හිමිවරුන්ගේ අවසන් කටයුතු අද, මරණවලට හේතුවත් හෙළි වෙයි
කුරුණෑගල - මැල්සිරිපුර නාඋයන ආරණ්‍ය සේනාසනයේ දී ඩක්කුවක් කඩා වැටීමෙන් අපවත් වූ මෙරට භික්ෂුන් වහන්සේලා සිව්නමගේ අවසන් කටයුතු අද (27) දින සිදු කෙරෙන බව වාර්තා වේ.
ඒ අනුව රජයේ ඉල්ලීම පරිදි අපවත් වූ භික්ෂුන් වහන්සේලාගේ දේහ භූමදානය කිරීමටයි තීරණය කර තිබෙන්නේ.
මේ අතර අනතුරින් අපවත් වූ ඉන්දීය සහ රුමේනියානු ජාතික භික්ෂුන් වහන්සේ දෙනමගේ දේහ අද දින උන් වහන්සේලාගේ මව් රට වෙත වැඩම කරවීමටත් රුසියානු ජාතික භික්ෂුවගේ දේහය ඉදිරි දිනකදී සිය මව් රට වෙත වැඩම කරවීමට නියමිත බව සඳහන්.
එසේම භික්ෂූන් වහන්සේ සිව්නමකගේ දේහ මැල්සිරිපුර සිට නාඋයන ආරණ්‍ය සේනාසනය වෙත ඊයේ දින පෙරවරුවේ වැඩම කරවා ඇත.
එමෙන්ම අනතුරින් තුවාල ලැබු භික්ෂූන් වහන්සේ දෙනමක් මේ වන විටත් කුරුණෑගල ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව සඳහන්.
මේ අතර මෙම හදිසි අනතුරින් අපවත් වූ භික්ෂූන් වහන්සේලාට සංවේගය පළ කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ සංඝ සභාවේ සියලුම විහාරස්ථානවල කහකොඩි ප්‍රදර්ශනය කරන්නැයි ඉල්ලීමක් කර ඇති බව ද වාර්තා වේ.
තවද භික්ෂූන් වහන්සේලාගේ අපවත්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවාසී සමස්ත බොදු ජනතාවට සංවේගය පවතින බව ශ්‍රී ලංකා කතෝලික රදගුරු සංවිධානය ශෝක පණිවුඩයක් නිකුත් කර තිබෙනවා.
ධාරිතාව ඉක්මවා යාම නිසා ආධාරක කම්බියක් කැඩී ගොස් මෙම අනතුර සිදු වන්නට ඇති බවට මූලික විමර්ශනවලදී හෙළි වුවද ස්ථානීය පරීක්ෂණය සිදු කළ මහව මහේස්ත්‍රාත් කංචනී සෙනෙවිරත්න පොලිසියට නියෝග කර ඇත්තේ ඩක්කුව කඩා වැටීම පිළිබඳව යාන්ත්‍රික ඉංජිනේරුවරුන්ගේ සහය යටතේ විමර්ශනයක් සිදු කරන ලෙසයි.
එසේම එහිදී ඩක්කුව කඩා වැටීමේ සිද්ධියට අදාළව යම් අපරාධමය වරදක් සිදුවී ඇත්ද යන්න පිළිබඳවත් පූර්ණ විමර්ශනයක් සිදු කර අධිකරණයට කරුණු වාර්තා කරන මෙන් නියෝග කර තිබුණා.
මේ අතර පශ්චාත් පරණ පරීක්ෂණයට අනුව එම සියලු මරණ මොට බලයක් නිසා ඇති වූ බහුවිධ තුවාල නිසා සිදුව ඇති බවට අධිකරණ වෛද්‍යවරයා තීරණය කර ඇති බව සඳහන්.
මේ අතර ඊයේ පෙරවරුවේ නා උයන ආරණ්‍ය සේනාසනයේ තැන්පත් කළ භික්ෂුන් වහන්සේලා සිව් නමකගේ දේහ වෙත අවසන් ගෞරව පුද කිරීමට මහා සංඝරත්නය ඇතුළු විශාල පිරිසක් සහභාගී විය.
