ඔත්තේ ඉරට්ටේ ක්‍රමය ගැන හා බදාදා නිවාඩු දිනය ගැන රජයෙන් ප්‍රකාශක්
අප්‍රේල් මාසය තුළ ඉන්ධන නෞකා 9ක් මෙරටට පැමිණීමට නියමිත බවත්, ඒ හරහා පවතින බලශක්ති අර්බුදය සමනය කිරීමට රජය පියවර ගෙන ඇති බවත් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.
මාතර අද (05) පැවැති ජනතා විමුක්ති පෙරමුණේ "ඉල් මහ විරු සැමරුම" ජන හමුව අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබේ.
මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හමුවේ ඇති වූ බලශක්ති අභියෝගය මේ වන විට සාර්ථකව කළමනාකරණය කර ඇති බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
මෙම ස්ථාවරත්වයත් සමඟ, ඉන්ධන අර්බුදය හේතුවෙන් මීට පෙර නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කළ බදාදා දිනය ඉදිරියේදී නැවතත් සාමාන්‍ය වැඩ කරන දිනයක් බවට පත් කිරීමට කටයුතු කරන බව අමාත්‍යවරයා පවසයි.
එමෙන්ම දැනට ක්‍රියාත්මක QR ක්‍රමවේදය සහ වාහන අංක තහඩුවේ ඔත්තේ ඉරට්ටේ ක්‍රමවේදය ද ඉවත් කරමින් ජනතාවට සාමාන්‍ය පරිදි සිය එදිනෙදා කටයුතු කරගෙන යාමට අවශ්‍ය වටපිටාව සකස් කරන බව ද විජිත හේරත් මහතා මෙහිදී ප්‍රකාශ කළේය.එහිදී අදහස් දැක්වූ ඔහු,
"දැනටමත් අපි අලුත් ක්‍රමවේද හඳුන්වලා දුන්නා. මුල් සතිය දෙකේ යම් අමාරුකම් තිබුණා ඒක ඇත්ත. පොලින් ආවා. QR හඳුන්වලා දුන්නා, ඔත්තේ ඉරට්ටේ කළා. බදාදා දිනය නිවාඩු දිනයක් කළා. යම් යම් ක්ෂණික ක්‍රියාමාර්ග ගත්තා. දැන් අපි පොලින් නැති කළා. දැන් QRඑක හොඳට යනවා. ඔත්තේ ඉරට්ටේ හොඳට යනවා. තව ටික දවසක් යද්දි ඒක එපා නම් අපි ඒක අයින් කරමු. අපි ලැස්ති ඒකට. බදාදා නිවාඩු දිනයත් දිගටම තියා ගන්න ඕනේ නෑ. කළමනාකරණය කරාට පස්සේ අවශ්‍ය මොහොතේ දී වැඩ පටන්ගමු. ඒ වෙලාවේ ඇති වු තත්ත්වයට මුහුණ දෙන්න අපි ඒක කළා. එනවා කිව්ව නැව් ටික එක පාර එන්න බෑ කිව්වා. සැපයුම් දුන්නේ නෑ. ඒකයි ඒ වගේ කළේ. නමුත් බය වෙන්න එපා තව නැව් 9ක් අප්‍රේල් වල එන්න නියමිතයි..."