ලංකාවට එන ගුවන් ටිකට්පත්වල මිල ශීඝ්‍රයෙන් ඉහළට - තුන් ගුණයකින් වැඩි වෙලා
ඉන්දියාව, පාකිස්තානය සහ මැදපෙරදිග රටවල සිට ශ්‍රී ලංකාව වෙත පැමිණෙන ගුවන් මගීන්ගේ ගුවන් ටිකට්පත් මිල ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව සඳහන්.
එයට හේතුව නම් ලෝක කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලදී දැඩි කතාබහක් නිර්මාණය කළ ඉන්දු පකිස්තාන තරගාවලියට පකිස්තාන රජය මඟින් පාකිස්තාන කණ්ඩායමට තරග කිරීමට අවසර ලබාදීමයි.
විශේෂයෙන්ම ඉන්දියාවේ සිට කොළඹට වෙත පැමිණෙන ගුවන් ගමන් සඳහා ටිකට් මිල සාමාන්‍යය මිලට වඩා තුන් ගුණයකට ආසන්න ලෙස ඉහළ ගොස් ඇති බව සඳහන්.
මේ අතර විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ මුම්බායි, දිල්ලි සහ චෙන්නායි වැනි නගරවල සිට කොළඹ වෙත පැමිණි ගුවන් මගීන්ගේ සෑම කාණ්ඩයකම සෘජු ගුවන් ගමන්වල ටිකට් පත් මිලද සාමාන්‍ය මට්ටම ඉක්මවා ඉහළ ගොස් ඇති බවයි.
එමෙන්ම විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය ඉන්දියාවේ සහ ශ්‍රි ලංකාවේ සම සත්කාරකත්වය යටතේ මේ දිනවල පැවැත් වේ.
ඒ යටතේ කණ්ඩායම් 20 ක් කාණ්ඩ 4ක් යටතේ තරග වදින අතර ක්‍රීඩාවේ පසමිතුරන් වන ඉන්දියාව හා පාකිස්තානය A කාණ්ඩයෙන් තරග වදියි.
එසේ වුවත් මෑතක සිට දෙරට අතර පවතින පසමිතුරු තත්ත්වය මත ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට සැලසුම් කර ඇති ඉන්දු - පාකිස්තාන තරගයට සහභාගි නොවන බව පාකිස්තානය ඉකුත්දා නිවේදනය කර තිබුණා.
එමෙන්ම මෙය මහත් ආන්දෝලනයට තඩුදුන් අතර ක්‍රීඩා ක්ෂේත්‍රෙය්, රූපවාහිනී තරග විකාශය අංශවල මෙන්ම වාණිජ ක්ෂේත්‍රෙය්ද ඒ ගැන මහත් කතාබහක් නිර්මාණය වී තිබුණි. එවැනි තත්ත්වයක ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා පාකිස්තාන ක්‍රිකට් සභාපති මොෂින් නක්වි වෙත ලිපියක් යවමින් එම තීරණය වෙනස් කරන මෙන් ඉල්ලීමක් කර සිටියා.
ඒ අනුව ක්‍රිකට් සභාපතිවරයා සිය ලිපියේදී , පාකිස්තානය ක්‍රීඩාවේ ගැටලුවලට මුහුණ දුන් අවස්ථාවල ශ්‍රී ලංකාව ඔවුන් වෙනුවෙන් ඉදිරිපත් වූ ආකාරයද සිහිපත් කරමින් දන්වා තිබුණේ ඉන්දු පාකිස්තාන තරගය නොපැවැත්වීමෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට හා සංචාරක කර්මාන්තයට වන හානියද සැලකිල්ලට ගෙන තීරණය වෙනස් කරන ලෙසයි.
එසේ වුවත් පෙබරවාරි 15 වැනිදා පැවැත්වීමට නියමිත ඉන්දියාව සමඟ තරගය ක්‍රීඩා නොකරන ස්ථාවරයේම පාකිස්තානය සිටි අතර ක්‍රීඩාවේ නාමයෙන් මෙම තරගයට සහභාගි වන මෙන් බංග්ලාදේශ ක්‍රිකට් සභාපතිවරයාද පාකිස්තානයෙන් ඉල්ලීමක් කර තිබුණා.
එවැනි වාතාවරණයක ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙබාස් ෂරීෆ් සමඟ දුරකථන සංවාදයක නිරතව තිබූ බව වාර්තා විය. එහිදී ජනාධිපතිවරයා ඉන්දු - පාකිස්තාන තරගය සම්බන්ධ ගැටලුව ගැන සාකච්ඡා කර ඇත.
එහිදී අසීරු අවස්ථාවලදී පාකිස්තානය සහ ශ්‍රී ලංකාව සැමවිටම එකිනෙකාට සහයෝගය දැක්වූ ආකාරය සිහිපත් කළ ජනපතිවරයා 1996 දී ශ්‍රී ලංකාව සඳහා පාකිස්තානය ඉන්දියාව සමඟ එක්ව දැක්වූ සහායද අගය කර තිබුණා.
එම අවස්ථාවේ පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා ද ,පසුගිය වසර අගදී ත්‍රස්ත ප්‍රහාරය අවස්ථාවේ ශ්‍රී ලංකා ක්‍රිකට් පිල පාකිස්තානයේ රැඳී සිටිමින් දැක්වූ සහාය සම්බන්ධයෙන්ද කෘතඥපූර්වකව සිහිපත් කළ බව වාර්තා වේ.
එම සංවාදය අතරතුරදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කියා ඇත්තේ දිට්වා ව්‍යසනයෙන් අනතුරුව රට නැවත නැගී සිටින මොහොතක ඉන්දු - පාකිස්තාන තරගය පැවැත්වීම මෙරටට සංචාරක , ආර්ථික මෙන්ම වානිජ අතින් ශක්තියක් වන බැවින් ඊට ක්‍රීඩා කරන්නැයි තමන් පාකිස්තානයට ඇරියුම් කර සිටින බවයි. ඒ සඳහා එම අවස්ථාවේදීම පාකිස්තාන අගමැතිවරයාගෙන් සුබවාදී ප්‍රතිචාරයක් ලැබී තිබුණු බව වාර්තා වේ.
අඳාළ සංවාදයෙන් පැය කිහිපයක් ඇතුළත පාකිස්තාන රජය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ඉල්ලීම ඇතුළු කරුණු සියල්ල සැලකිල්ලට ගනිමින් බහුපාර්ශ්වීය සාකච්ඡාවල ප්‍රතිඵල සහ මිත්‍රරටවල ඉල්ලීම් සලකා බැලීමෙන් පසුව, පෙබරවාරි 15 වන දින ඉන්දියාව සමඟ පැවැත්වීමට නියමිත තරගයට සහභාගී වන්නැයි සිය ජාතික ක්‍රිකට් කණ්ඩායමට උපදෙස් ලබා දුන් බවයි.
පාකිස්තාන රජය නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ අඳාළ තීරණය ගනු ලැබුවේ ක්‍රිකට් ක්‍රීඩාවේ ජීවගුණය ආරක්ෂා කිරීම සහ සියලුම සාමාජික රටවල් තුළ මෙම ගෝලීය ක්‍රීඩාවේ අඛණ්ඩ පැවැත්ම සහතික කිරීමේ අරමුණ ඇතිව බවත්ය.
මේ අතර ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ට්ව්ටර් සටහනක් තබමින් '' අප සැම ආදරය කරන මෙම ක්‍රීඩාව අඛණ්ඩව පවත්වාගෙන යාම සහතික කිරීම පිළිබඳව පාකිස්තාන අග්‍රාමාත්‍යවරයාට ස්තූතිවන්ත වනවා '' යනුවෙන් සඳහන් කළා.
එබැවින් දින 10ක් පුරා පැවති අර්බුදකාරී තත්ත්වය නිමාවට පත්කරමින් පාකිස්තානය සහ ඉන්දියාව අතර තරගය සැලසුම් කළ පරිදිම ලබන පෙබරවාරි 15 වැනිදා රාත්‍රී 7 ට කොළඹ අර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත් වීමට නියමිතයි.