අනෝජන් වෙනුවෙන් රජයේ දූත පිරිසක් එතෙරෙට - මාලදිවයින හරහා විශේෂ මෙහෙයුමක්
සෞදි අරාබියාවේදී මරණදඬුවම නියම වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන සිවරාජා අනෝජන්ගේ ජීවිතය බේරාගැනීම වෙනුවෙන් වහාම මැදිහත්වන ලෙස ඉලංගෙයි තමිල් අරසු පක්ෂය ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයෙන් සහ අමෙරිකානු තානාපති කාර්යාලයෙන් ඉල්ලීමක් කර තිබේ.
සිය පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමක් විසින් ඊයේ (23) පස්වරුවේ මෙම ඉල්ලීම සිදුකළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානක්කියන් රාසමානික්කම් මහතා තහවුරු කළේය.
අනෝජන් මරණදඬුවමෙන් නිදහස් කරගැනීම සඳහා ජනාධිපති නීතිඥවරුන් වන ෆයිසර් මුස්තාපා සහ උපුල් කුමාරප්පෙරුම යන මහත්වරුන් විසින් විශේෂ මෙහෙයුමක් ද ආරම්භ කර ඇත.
සෞදි රජය සමඟ සමීප සබඳතා පවත්වන මාලදිවයිනේ හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් මහතා ඊයේ හමු වූ ඔවුන්, අදාළ තරුණයා නිදහස් කරගැනීමට මැදිහත්වන ලෙස ඉල්ලා සිටි අතර, ඉදිරි දින කිහිපය තුළ නීතිඥවරුන් දෙදෙනා සෞදි අරාබිය බලා පිටත්ව යාමට ද නියමිතය.
මේ අතර, සිවරාජා අනෝජන්ගේ ජීවිතය බේරාදෙන ලෙස මෙරට සහ සෞදි රජයෙන් ඉල්ලමින් ඊයේ රාත්‍රියේ කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී හින්දු භක්තිකයන් පිරිසක් පහන් දල්වා සත්‍යග්‍රහයක නිරත වූහ.
බොරැල්ල පත්තිනි දේවාලයේ ප්‍රධාන පූජක එස්. විනායගන් කුරුක්කල් පූජකතුමා ද මෙම අවස්ථාවට එක්වෙමින් මානුෂීය පදනමින් අදාළ තරුණයා නිදහස් කරගැනීමට මැදිහත්වන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.