EXCLUSIVE - පාස්කු ඉරිදා ප්‍රහාරය සැලසුම් අසාර්ථක වුවහොත් ආරක්ෂිත ස්ථානයක් ගැන තොරතුරු හෙළිවේ
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සඳහා පැමිණි ප්‍රහාරකයන්ට, ඔවුන්ගේ එක් සැලසුමක් අසාර්ථක වුවහොත් යා යුතු ආරක්ෂිත ස්ථානයක් සහ එහිදී සම්බන්ධ විය යුතු පුද්ගලයකු පිළිබඳ මූලික තොරතුරු ලබාදී තිබූ බව විමර්ශන ආයතන මගින් අනාවරණය කරගෙන ඇත.
මෙම තොරතුරු මුලින්ම හෙළි වූයේ පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිසමේදීය. එහිදී සාක්ෂි ලබාදෙමින්, එවකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරව සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සහ වත්මන් මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් රවී සෙනෙවිරත්න මහතාගෙන් විමසා තිබුණේ, ප්‍රහාරකයන්ගේ ඉලක්කයක් අසාර්ථක වුවහොත් ඔවුන්ට ලබාදී තිබූ උපදෙස් මොනවාද යන්නයි.
ඒ සඳහා පිළිතුරු දෙමින් ඔහු පවසා ඇත්තේ, එවැනි අවස්ථාවක නිශ්චිත ආරක්ෂිත ස්ථානයකට පැමිණෙන ලෙස දැනුම් දී තිබූ බවත්, එහිදී නිශ්චිත පුද්ගලයකු හමුවන බවට තොරතුරු ලබාදී තිබූ බවත්ය. එම පුද්ගලයාගේ නම කොළයක ලියා ජනාධිපති කොමිසමට ලබාදුන් බවද ඔහු සඳහන් කර තිබේ.
රවී සෙනෙවිරත්න මහතා ජනාධිපති කොමිසමට පිටු 163ක සාක්ෂි ලබාදී ඇත. එම සාක්ෂි විමසීමේදී, රජයේ නීතිඥ සංජීව දිසානායක මහතා ඔහුගෙන් විමසා තිබුණේ, ප්‍රහාරකයන්ට අයිඑස්අයිඑස් සංවිධානයෙන් සහාය ලැබුණු බවට තොරතුරු තිබේද යන්නයි. එයට පිළිතුරු දෙමින් සෙනෙවිරත්න මහතා පවසා ඇත්තේ, ප්‍රහාරකයන් ගනුදෙනු කළ බැංකු ගිණුම් 41ක් පිළිබඳ තොරතුරු හෙළි වී ඇති බවත්, එම ගිණුම් සියල්ල ශ්‍රී ලංකාවේ ඒවා වන අතර, එම ගිණුම්වලට මුදල් ලැබී ඇත්තේ ද ශ්‍රී ලංකාව තුළින් බවත්ය.
එහිදී රජයේ නීතිඥවරයා විසින් ලියාදුන් කොළයක ඇති නමක් ගැන විමසමින්, එම පුද්ගලයා සහ සහරාන් අතර සම්බන්ධතාවක් හෙළි වී තිබේද යන්න ගැන ප්‍රශ්න කර තිබේ. ඒ සඳහා සෙනෙවිරත්න මහතා පිළිතුරු දෙමින් පවසා ඇත්තේ, එවැනි සම්බන්ධතාවක් පිළිබඳ තොරතුරු වාර්තා වී ඇති බවත්, එම නම අසල්වැසි රටක සංවිධානයකට සම්බන්ධ බවට පෙනුනත්, එය තහවුරු වී නොමැති බවත්ය.
2019 දෙසැම්බර් 31 වැනිදා රවී සෙනෙවිරත්න මහතා පොලිස් සේවයෙන් විශ්‍රාම ගිය අතර, ඉන් පසු මෙම තොරතුරු පිළිබඳ විමර්ශන සිදුවුවත්, ඒවා අතරමග නතර වී ඇත. එයට හේතුව වී ඇත්තේ, 2019 නොවැම්බර් මාසයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු, පාස්කු ප්‍රහාර විමර්ශනයේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා ඇතුළු විමර්ශකයන් වෙනත් රාජකාරි සඳහා යෙදවීමයි.
වත්මනේ යළිත් මෙම විමර්ශන වේගවත් කර ඇති අතර, රවී සෙනෙවිරත්න මහතාගේ ප්‍රකාශ හා සම්බන්ධව වැදගත් තොරතුරු රැසක් හෙළි වී ඇතැයි වාර්තා වේ. දැනට ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් 25 දෙනකුට එරෙහිව එක් නඩුවක් විභාග වන අතර, ඉදිරියේදී තවත් නඩු කිහිපයක් පැවරීමට නියමිත බවද හෙළි වේ. ඒ අතර, විමර්ශන හිතාමතා ප්‍රමාද කිරීම හෝ වෙනත් දිශාවකට යොමු කිරීමට උත්සාහ කිරීම පිළිබඳව එක් නඩුවක් පැවරීමට සැලසුම් කර ඇතැයි වාර්තා වේ.
ශාලික විමලසේන සිළුමිණ පුවත්පතට ලියූ වාර්තාවකි