මහෙස්ත්‍රාත්වරුන්ට බන්ධනාගාර සිරකරුවන් හා සැකකරුවන් සම්බන්ධ චක්‍රලේඛයක්
අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් මහෙස්ත්‍රාත්වරුන්ට චක්‍රලේඛයක් නිකුත් කරමින්, සැකකරුවන් හෝ සිරකරුවන් විශේෂ බන්ධනාගාරවල රඳවා තබාගැනීමට හෝ ඔවුන්ට විශේෂ ආරක්ෂාව ලබාදීමට නියෝග නිකුත් කිරීමෙන් වැළකී සිටින ලෙස දැනුම් දී ඇත.
මෙම චක්‍රලේඛය මගින්, රක්ෂිත බන්ධනාගාරගත සැකකරුවන් හා සිර දඬුවම් ලබන සිරකරුවන් සම්බන්ධයෙන් විශේෂ තත්ත්වයන් යටතේ අධිකරණ නියෝග නිකුත් කිරීමේදී මහෙස්ත්‍රාත්වරුන් අනුගමනය කළ යුතු ආකාරය පිළිබඳ මාර්ගෝපදේශනයක් සපයා ඇත. 2012 මැයි 11 වැනි දින නිකුත් කළ චක්‍රලේඛය යාවත්කාලීන කරමින්, අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම් ප්‍රසන්න අල්විස් මහතා විසින් මෙම නව චක්‍රලේඛය නිකුත් කර ඇත.
එමෙන්ම, සැකකරුවන් හෝ සිරකරුවන් බන්ධනාගාරගතව සිටින කාලය තුළ ඔවුන්ගේ පවුල්වල විශේෂ අවස්ථාවන්ට හෝ වෙනත් කටයුතු සඳහා ඔවුන්ව නිවෙස්වලට හෝ වෙනත් ස්ථානවලට රැගෙන යන ලෙස මහෙස්ත්‍රාත්වරුන් විසින් නියෝග නිකුත් නොකළ යුතු බව චක්‍රලේඛයේ සඳහන් වේ. සමීප ලේ ඥාතීන්ගේ අවමංගල්‍ය අවස්ථාවන්හිදී බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ රෙගුලාසිවලට අනුව, බන්ධනාගාර අධිකාරීවරයාගේ මෙහෙයවීම යටතේ අදාළ ස්ථානවලට ඔවුන් රැගෙන යා යුතුය.
ඊට අමතරව, සැකකරුවන් හෝ සිරකරුවන් වෛද්‍ය ප්‍රතිකාර සඳහා ඉල්ලීම් කරන අවස්ථාවන්හිදී, එම ඉල්ලීම් බන්ධනාගාර වෛද්‍යවරයා වෙත යොමු කළ යුතු බව අධිකරණ සේවා කොමිෂන් සභාව වැඩිදුරටත් දැනුම් දී ඇත.