දිවයින පුරා සිටින රෝගීන්ට රැසක් විශාල අවධානමක, නියාමනයක් නැති ප්‍රතිජීවක නිසා මරණ ගණන ඉහළට - වෛද්‍ය චමල්
වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා විසින් ජාතික ඖෂධ ප්‍රතිපත්තියක් හෝ ජාතික ප්‍රතිජීවක ඖෂධ ප්‍රතිපත්තියක් නැති හෙයින් රෝහල් පද්ධතිය තුළ මෙන්ම පෞද්ගලික අංශයේ ද රෝගීන්ට ප්‍රතිජීවක ඖෂධ ලබාදීම පිළිබඳ නියාමනයක් නොමැති වීමෙන් රට පුරා රෝගීන් රැසක් ප්‍රතිජීවක ඖෂධ ප්‍රතිරෝධයන්ට ගොදුර වීමේ අවධානම ඉහළ යමින් පවතින බව ප්‍රකාශ කරයි.
ඒ අනුව සෑම වසරකම ප්‍රතිජීවක ඖෂධවලට දක්වන ප්‍රතිරෝධය හේතුවෙන් අවම ලෙස ලක්ෂ හතකට ආසන්න ප්‍රමාණයක් ලොව පුරා මරණයට පත්වන බව දක්වයි.
එසේම මෙම සංඛ්‍යාව ඉදිරියේදී ලක්ෂ සිය දක්වා ඉහළ යා හැකි බව ද ජාත්‍යන්තර වෛද්‍ය විද්‍යා පර්යේෂණ පෙන්වා දෙන බව විශේෂඥ වෛද්‍යවරයා පෙන්වා දෙයි.
මෙරට තුළ මෙම තත්ත්වය නිසි පරිදි සංඛ්‍යා ලේඛනාත්මකව අධ්‍යනය කොට නොමැති වුවත් ප්‍රතිජීවක ඖෂධවලට නිසි පරිදි ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් මරණ සිදුවන බවට සායනික අත්දැකීම් ඉහළ යමින් පවතින බව විශේෂඥ වෛද්‍යවරුන් සඳහන් කරන බවද ඔහු දක්වයි.
තවද ප්‍රතිජීවක ඖෂධ නිකුත් කිරීමේ නියාමනයක් නොමැතිවීම හේතුවෙන් ඉතා සුළු රෝගී තත්ත්වයන්ට පවා ප්‍රබල ප්‍රතිජීවක ඖෂධ ලබාදීමට සෞඛ්‍ය කාර්ය මණ්ඩල උනන්දුවක් දක්වන බව පවසන වෛද්‍යවරයා මේ තත්ත්වය මත රෝගී තත්ත්ව උත්සන්න වී දැඩිසත්කාර ඒකකවලට ඇතුළත් කරන රෝගීන්ට වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමේදී විශේෂඥ වෛද්‍යවරුන් දැඩි දුෂ්කරතාවයන්ට ලක්වන බවද සඳහන් කරයි.
එබැවින් ජාතික ප්‍රතිජීවක ඖෂධ ප්‍රතිපත්තියක් සකස් කිරීමේ අවශ්‍යතාවය පැවතියද ඒ සඳහා වෛද්‍යවරුන්ගේ පාර්ශවයෙන්ම සාධනීය සාර්ථක සහයෝගයක් නොලැබීම මෙම ගැටළුව පැන නැගීමට ප්‍රධාන ලෙස හේතුවක් වූ බවද ඔහු දක්වයි.
ඉකුත් වසර හතළිහක ආසන්න කාලයක් මුළුල්ලේ අලුතින් කිසිදු ප්‍රතිජීවක ඖෂධයක් නිෂ්පාදනය කිරීමට ලොව කිසිදු රටක් සමත්ව නැති හේතුවෙන් ඉදිරියේදී වැළඳෙන භයානක රෝගී තත්ත්වවලදී මිනිස් ජීවිත වසංගත තත්වයක් සහ විනාශ වී යාමට වැඩි ඉඩක් පවතින බවද ඔහු කියයි.