ඇවන්ගාඩ් නිසා රජයට සිදුවූ පාඩුව සොයන්න කෝප් කමිටුවෙන් විශේෂ තීරණයක්
ශ්‍රී ලංකා නාවික හමුදාව සහ රක්නා ආරක්ෂක ලංකා සමාගම එක්ව සිදුකළ මුහුදු ආරක්ෂණ සේවාවට ඇවන්ගාඩ් පෞද්ගලික සමාගම එක් කරගැනීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කිරීමට පියවර ගන්නා බව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව ප්‍රකාශ කරයි.
කෝප් කමිටු සභාපති, වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා පෙන්වා දෙන්නේ ඇවන්ගාඩ් සමාගම මෙම කටයුත්තට එකතු කරගැනීම හේතුවෙන් රජයට විශාල මූල්‍යමය පාඩුවක් සිදු වී ඇති බවයි.
රක්නා ආරක්ෂක ලංකා සමාගමේ නිලධාරීන් පසුගියදා කෝප් කමිටුව හමුවට කැඳවූ අවස්ථාවේදී මෙම ගිවිසුම අත්සන් තැබුවේ කුමන පාර්ශවයකගේ අවශ්‍යතාව මතදැයි කමිටු සාමාජික, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ද දැඩි ලෙස ප්‍රශ්න කර සිටියේය.
මෙම සිදුවීමට අදාළ සියලු ගිවිසුම් අහෝසි කිරීමටත්, රජයට සිදුවූ පාඩුව අයකර ගැනීමටත්, ඊට සහය දුන් සියලු පාර්ශවයන්ට එරෙහිව තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවත් කෝප් කමිටු සභාපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.