කොළඹට විශේෂ දැනුම්දීමක් - හෙට සිට වතුර කපන කාලය මේ විදිහට වෙනස් වෙයි[UPDATE]
කොළඹ දිස්ත්‍රික්කයේ පාදුක්ක, හෝමාගම, පැලැන්වත්ත සහ පන්නිපිටිය ප්‍රදේශවලට හෙට (05) දින පටන් ජල සැපයුම අත්හිටුවන කාලය පැය 8 - 12 ත් අතර කාලයකින් අඩු කෙරෙන බවට ජලසම්පාදන මණ්ඩලය දැනුම් දෙයි.
කෙසේ වුවද අලුත් අවුරුදු සමය යෙදී ඇති අප්‍රේල් 11 සිට 14 දක්වා කිසිදු ප්‍රදේශයකට ජල කප්පාදුවක් සිදු නොකරන බවයි ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කර ඇත.
වියළි කාලගුණ තත්ත්වයත් සමඟ මෙම ප්‍රදේශවලට දින 03කට පසු එක් දිනයක් ජල සැපයුම අත්හිටුවීමට ජල සම්පාදන මණ්ඩලය තීරණය කර තිබුණු අතර පැය 24ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමෙන් පාරිභෝගික ජනතාවට සිදුවන දුෂ්කරතා සැළකිල්ලට ගනිමින් එම කාලසීමාව පැය 18ක් දක්වා අඩු කිරීමට පියවර ගන්නා බවට ද එම මණ්ඩලය ඊයේ (03) දින නිවේදනය කර තිබුණා.
එසේම කොළඹ දිස්ත්‍රික්කයේ ජල සැපයුමට තවදුරටත් බාධා එල්ල වුවහොත් බවුසර් මඟින් ජලය සැපයීමට ද විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරමින් පවතින බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළා.
එබැවින් සෙසු දිස්ත්‍රික්කවල එම මණ්ඩලය යටතේ පවතින බවුසර් රථ කොළඹට රැගෙන ඒමට මේ වන විටත් පියවර ගෙන ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති ඉංජිනේරු චන්දන බණ්ඩාර මහතා පැවසුවා.
තවද ඔහු වැඩිදුරටත් කියා සිටියේ ජල සැපයුමට බාධා එල්ලවීමත් සමඟ මේ වන විට ජල සම්බන්ධතා 20,000කට පමණ බලපෑම් එල්ල වී ඇති බවයි.