ආයෙ පොල් කනවා බොරු...
රජයේ පොල් වෙන්දේසිවලදී අතරමැදියන්ගේ මිල නියම කිරීමේ ක්‍රියා පිළිවෙත නිසා මේ වන විට දේශීය වෙළඳපොලේ පොල් මිල අඛණ්ඩව ඉහළ යන බව වාර්තා වේ.
ඒ අනුව පහුගියදා පොල් වගා කිරීමේ මණ්ඩලය මඟින් රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ පැවති සාකච්ඡාවකදී මෙම ගැටලුව මතු කර ඇති බව සඳහන්.
මෙහි දී රජය සතු වතුවලින් ලැබෙන පොල් ඉතාම අවම මිලකට වෙන්දේසි කරන බව පවසයි.
එසේ වුවත් අතරමැදියන් විසින් මෙම තොග මිලට ගෙන වෙළඳපොලේ ඉතා ඉහළ මිලකට අලෙවි කර ඒ ඔස්සේ සැලකිය යුතු ලාභයක් ලබා ගන්නා බව ද පවසයි.
කෙසේ වුවත් මේ නිසා අසාධාරණයට ලක් වන්නේ සහ අවාසි ඇති වන්නේ පොල් වගාකරුවන්ට සහ පාරිභෝගිකයින්ටයි.
ඒ අනුව ඉකුත් වර්ෂයේ අගෝස්තු මස සිට පොල් අස්වැන්නේ පහත වැටීමක් දක්නට ලැබී ඇත.
එසේම පොල් මිල රුපියල් 200 ට වඩා වැඩි මට්ටමක තිබීම ද ගැටලුවක් වේ.
මෙම සාකච්ඡාවේදී කනස්සල්ලක් මතු වූ කරුණ වන්නේ මැයි සහ ජුනි මාසවලදී පොල් ගෙඩි මිලියන 555 ක අස්වැන්නක් ලැබෙනු ඇතැයි පුරෝකථනය කර තිබුණද නිෂ්පාදනයේ අපේක්ෂිත වැඩිවීමක් තිබියදීත් මෙසේ මිල අඛණ්ඩව ඉහළ යාම සම්බන්ධවයි.
ඒ අනුව මෙයට විසඳුමක් වශයෙන් ඉදිරියේදී පොල් තොගයෙන් කොටසක් පමණක් වෙන්දේසි මඟින් අලෙවි කිරීමට යෝජනා කරන ඇත.
එසේම ඉතිරිය සතොස අලෙවිසැල් සහ සමුපකාර හරහා සහනදායී මිල ගණන් යටතේ මහජනතාවට බෙදා හරින බව වාර්තා වේ.
එමෙන්ම ජනාධිපතිවරයා ද පොල් මිල ඉහළ යාම සැලකිල්ලට ගෙන ඒ සම්බන්ධයෙන් සොයා බලා තිබෙනවා.
ඒ අනුව කෘෂිකර්ම අංශයේ ඉහළ නිලධාරීන්ට උපදෙස් දී තිබෙන්නේ මිල ස්ථාවර කිරීමට සැලැස්මක් සකස් කරන ලෙසයි.
ඊට සමගාමී ලෙස පොල් වගා කිරීමේ මණ්ඩලය සූදානම් වන්නේ පොල් නිෂ්පාදනය ඉහළ නැංවීමට එළඹෙන මාසයේ පටන් වැඩසටහන් කිහිපයක් ක්‍රියාත්මක කිරීමටයි.
මෙම සාකච්ඡාවේදී අනාවරණය වූ තව කරුනක් නම් රජය සතුව දැනට පොල් වගාවන් අක්කර ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් තිබුණද එම ඉඩම් බොහොමයක් ඌන උපයෝජිත ඉඩම් බවයි.
එබැවින් මෙම ඉඩම් සංවර්ධනය කිරීමට ද රජයේ අවධානය යොමුව තිබේ.
මණ්ඩලය අදහස් කරන්නේ එළඹෙන මාසවලදී පොල් අස්වැන්න නැවතත් පහත වැටිය හැකි බවයි.
ඒ අනුව තවත් පොල් මිල ඉහළ යාමක් සිදුවිය හැකි බවයි.
