ඇමති වසන්තට ෆේස්බුක් එකෙන් අපහාස කරපු අයට CID පරීක්ෂණ - ලිස්ට් එක මෙන්න
අමාත්‍ය ඩබ්ලිව්.ඒ. සමරසිංහ සහ ඔහුගේ මහජන සම්බන්ධතා නිලධාරිනී නිමෝදි වික්‍රමසිංහ ඉලක්ක කර ගනිමින් අසත්‍ය හා අපහාසාත්මක සමාජ මාධ්‍ය සටහන් සංසරණය වීම පිළිබඳව වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යාංශය මඟින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) පැමිණිල්ලක් ගොනු කර තිබෙනවා.
ඒ අනුව එම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර ඇත.
එහි සඳහන් කර ඇත්තේ ෆේස්බුක් පිටු සහ වෙබ් අඩවි කිහිපයක් අමාත්‍යවරයාගේ සහ ඔහුගේ කාර්ය මණ්ඩලයේ පෞද්ගලික, පවුලේ සහ වෘත්තීය කීර්ති නාමයට මෙන්ම ඔහුගේ දේශපාලන චරිතයට හානි කරන ගොතන ලද කථා, සංස්කරණය කරන ලද ඡායාරූප සහ නොමඟ යවන අන්තර්ගතයන් ප්‍රකාශයට පත් කර තිබෙන බවයි.
ඒ අනුව යොමු අංක 20039516 යටතේ ගොනු කර ඇති පැමිණිල්ලෙන් ඊට සම්බන්ධ පුද්ගලයින් සහ සමාජ මාධ්‍ය පිටු විමර්ශනය කර නීතිමය පියවර ගන්නා මෙන් CID යෙන් ඉල්ලා සිටින බව වාර්තා වේ.
එසේම පැමිණිල්ලේ නම් කර ඇති අය අතර නිමන්ත පෙරේරා, දුමිඳු ජයසූරිය, කේ.ඩබ්ලිව්. පද්මසිරි, මංජුල පෙරේරා, රන්නු ජෑස්, තුෂාරි පතිරාජ, පාලිත දේවසිරි, රසික විකුම්ප්‍රිය, ප්‍රනාන්දු ඉනෝකා, සහ “ගම්පහ පොදු ජන හඬ” ෆේස්බුක් පිටුව ඇතුළත් වේ.