චන්ද්‍රිකා බණ්ඩාරනායක රක්ෂිත බන්ධනාගාරයට යයි - හේතුව මෙන්න
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ සුවදුක් විමසීමට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඊයේ දින මැගසින් බන්ධනාගාරය වෙත පැමිණ තිබුණා.
එම අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ ඇය සඳහන් කළේ, තමන් සාමාන්‍යයෙන් බන්ධනාගාර වෙත නොපැමිණෙන නමුත්, වර්තමානයේ සිදුවන ඇතැම් ක්‍රියාවලියන් කෙරෙහි පවතින විරෝධය ප්‍රකාශ කිරීම සඳහා මෙසේ පැමිණි බවයි.
එමෙන්ම ඇය පෙන්වා දුන්නේ රටක් ඉදිරියට ගෙන යාමට නම් අවංක, දක්ෂ සහ පළපුරුදු රාජ්‍ය සේවයක් අත්‍යවශ්‍ය බවත්, විශේෂයෙන්ම රජයක කැබිනට් මණ්ඩලය පවා රැඳී පවතින්නේ රටේ ක්‍රීම් එක බඳු වූ පරිපාලන සේවය මත බවත් ය.
එසේ වුවත් ජේ.ආර්. ජයවර්ධන මහතාගේ පාලන සමයේ සිටම තමන්ගේ පක්ෂයට කත් නොඅදින නිලධාරීන්ට පහර දීමේ දේශපාලන සංස්කෘතියක් ආරම්භ වූ බවත්, වත්මන් කාලයේ ද එය එලෙසම සිදුවන බව පෙනෙන්නට ඇති බවත් කුමාරතුංග මහත්මිය වැඩිදුරටත් ප්‍රකාශ කළා.
එසේම රාජ්‍ය නිලධාරීන්ට පෞද්ගලිකව දේශපාලනය කිරීමට අයිතියක් තිබුණද, රාජකාරි කරන අවස්ථාවේදී දේශපාලනය දොරෙන් පිටත තබා පැමිණිය යුතු බව තමන් නිතර අවධාරණය කළ බව හිටපු ජනාධිපතිනිය සඳහන් කළේ නිලධාරීන් රජයේ ප්‍රතිපත්ති ඉටු කළ යුතු වුවත්, වැරදි දේ කිරීමට ඔවුන්ට බල නොකළ යුතු ඇයගේ මතය දක්වමින්.
මේ අතර සමන් ඒකනායක මහතා පිළිබඳව ද අදහස් දක්වමින් ඇය සඳහන් කළේ ඔහු ඉතා දක්ෂ පාලකයෙකු සහ ඉතා හොඳ පුද්ගලයෙකු බවයි. ඉකුත් රජයන් කිහිපයකම ඔහු සමඟ සමීපව කටයුතු කර ඇති බැවින්, ඔහුට සිදුව ඇති මෙම තත්ත්වය පිළිබඳව සොයා බැලීමට තමන් පැමිණි බව ද ඇය කියා සිටියා.
එමෙන්ම තමන් මීට පෙර බන්ධනාගාරයකට පැමිණියේ සිය සැමියා වූ විජය කුමාරතුංග මහතා ජයවර්ධන ආණ්ඩු සමයේ සිරගත කර සිටි කාලයේදී බව ද ඇය එහිදී සිහිපත් කර සිටියේ එදා සිරකරුවන්ට ආහාර ලබාදීමේදී පවා දැඩි දුෂ්කරතා සහ පීඩාවන් එල්ල කළ ආකාරය විස්තර කරමින්.
කෙසේ වෙතත් ඇය තවදුරටත් අවධාරණය කළේ මෙවැනි දක්ෂ නිලධාරීන්ට එරෙහිව සිදුවන ක්‍රියාවන් පිළිබඳව සිය දැඩි විරෝධය පළ කරන බවත්, එවැනි ක්‍රියා රටේ රාජ්‍ය සේවයට මෙන්ම අනාගතයට ද අහිතකර ලෙස බලපාන බවත් ය.