චන්ද්‍රිකා කුමාරතුංගත් නිල බංගලාවෙන් දැන්ම යන්න බෑ කියයි - හේතුව මෙන්න
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඉදිරි සති 2-3 ඇතුළත තම කොළඹ රජයේ නිල බංගලාවෙන් ඉවත් වී කුලියට ගත් නිවසකට පදිංචියට යාමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.
ඇයගේ අසනීප තත්ත්වය හේතුවෙන් ඉවත්වීමේ කටයුතු ප්‍රමාද වී ඇති බව හිටපු ජනාධිපතිනියගේ ලේකම්වරයෙකු නිකුත් කළ තොරතුරු හරහා හෙළි වී ඇත. මෙම තත්ත්වය හේතුවෙන් ඇයට රජයෙන් අමතර කාලයක් ඉල්ලා ඇති බවද වාර්තා වේ.
2025 සැප්තැම්බර් 10 වැනිදා Presidents' Entitlements (Repeal) Act, No. 18 of 2025 පනත පාර්ලිමේන්තුවේදී 151-1 බහුතරයකින් සම්මත වීමත් සමඟ, හිටපු ජනාධිපතිවරුන් වන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මෛත්‍රීපාල සිරිසේන සහ මහින්ද රාජපක්ෂ යන මහත්ම මහත්මීන්ට ලබාදී තිබූ නිල නිවාස, වාහන, ආරක්ෂාව ඇතුළු සියලු වරප්‍රසාද, විශ්‍රාම වැටුප හැර අහිමි වී ඇත. මෙම පනත ශ්‍රේෂ්ඨාධිකරණයේ අනුමැතිය ලබා ඇති බවද සඳහන්ය.
මෙම පනත මගින් හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ බිරිඳ වන හේමා ප්‍රේමදාස මහත්මියට ලබාදී තිබූ විශ්‍රාම වැටුප සහ අනෙකුත් වරප්‍රසාද ද අවලංගු කර ඇති බව වාර්තා වේ. මෙය හිටපු ජනාධිපතිවරුන්ගේ පවුල්වලට ලබාදී තිබූ ප්‍රතිලාභද අහිමි කිරීමේ කොටසක් ලෙස සැලකේ.