අප සංචිත රැස් කරන්නේ අර්බුදයක් එනකම් බලන් ඉඳලා නෙවෙයි.. ඊළඟ පහර වදින වෙලාව දන්නේ නෑ - මහ බැංකු අධිපති
පූර්ව සූදානමේ වටිනාකම අද වන විට පෙර කවරදාකටත් වඩා ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.
වර්තමානයේ ලෝකය දැඩි අවිනිශ්චිතතාවන්ට මුහුණ දෙමින් සිටින බැවින්, අනාගත අර්බුද සඳහා පූර්ව සූදානම් වීමේ වැදගත්කම තවදුරටත් තහවුරු වී ඇති බවද මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේය.
පසුගිය වසරවල අත්දැකීම් පදනම් කරගනිමින් ඔහු පෙන්වා දුන්නේ, රටක් විදේශ සංචිත ගොඩනගන්නේ අර්බුදයක් ඇතිවන තෙක් බලා සිටීමෙන් නොවන බවයි.
ඊළඟ අර්බුදය ඇතිවන්නේ කවදාදැයි නිශ්චිතව පුරෝකථනය කළ නොහැකි බැවින්, ඊට පෙර සිටම අවශ්‍ය සංචිත සහ ආරක්ෂිත මූල්‍ය පදනමක් ගොඩනගා ගැනීම අත්‍යවශ්‍ය බව ඔහු අවධාරණය කළේය.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සංවිධානය කළ සංචිත කළමනාකරණ සමුළුවේදී මහ බැංකු අධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය. එම සමුළුව පසුගියදා කොළඹදී පැවැත්විණි.
අවිනිශ්චිත ලෝකයක් හමුවේ අවදානම් නැවත තක්සේරු කළ යුතුයි
ලොව පුරා වේගයෙන් වෙනස් වන භූ දේශපාලනික තත්ත්වයන් හමුවේ මහ බැංකු සහ විදේශ සංචිත කළමනාකරුවන් මුහුණ දෙන අභියෝග තවදුරටත් සංකීර්ණ වී ඇති බවද ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කළේය.
එබැවින් වර්තමාන තත්ත්වයට ගැළපෙන පරිදි අවදානම පිළිබඳ පවතින නිර්වචනය පුළුල් ලෙස නැවත සමාලෝචනය කිරීමේ අවශ්‍යතාව පවතින බවද ඔහු පෙන්වා දුන්නේය.
සංචිත ගොඩනැගීම දීර්ඝකාලීන ක්‍රියාවලියක්
විදේශ සංචිත ගොඩනැගීම එක්වරකින් සිදු කළ හැකි කාර්යයක් නොවන අතර, එය දීර්ඝකාලීන ක්‍රියාවලියක් බව මහ බැංකු අධිපතිවරයා අවධාරණය කළේය.
ඒ සඳහා ශක්තිමත් සාර්ව ආර්ථික පදනමක්, ප්‍රතිපත්තිමය විශ්වාසනීයත්වයක් සහ අදාළ සියලු පාර්ශ්වකරුවන්ගේ විනයගරුක සහ වගකීම් සහිත ක්‍රියාකාරීත්වයක් අත්‍යවශ්‍ය බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.