හදිසි තත්ත්වයක් ප්‍රකාශයට - ඇමෙරිකාවම ඇවිලෙයි - විෂ රසායනික ටැංකියක් පුපුරා යාමේ අවදානමක්
ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ, ඔරේන්ජ් ප්‍රාන්තයේ (Orange County) පිහිටි නිෂ්පාදන කර්මාන්තශාලාවක සිදුවූ විෂ රසායනික කාන්දුවක් පාලනය කිරීම සඳහා හදිසි සහන කණ්ඩායම් දැඩි උත්සාහයක නිරත වීම හේතුවෙන්, කැලිෆෝනියා ආණ්ඩුකාර ගැවින් නිව්සම් (Gavin Newsom) විසින් එහි හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙහිදී, ප්ලාස්ටික් නිෂ්පාදනය සඳහා භාවිත කරන, අධික ලෙස වාෂ්පශීලී සහ ගිනිගන්නා සුලු රසායනික ද්‍රව්‍යයක් වන 'මෙතිල් මෙතක්‍රිලේට්' (Methyl Methacrylate) ගැලුම් 7,000ක් පමණ අඩංගු ටැංකියක් මෙලෙස පිපිරීමේ හෝ බිඳවැටීමේ අවදානමකට ලක්ව ඇති බව නිලධාරීහු අනතුරු අඟවන බවයි.
හේතුවෙන් පූර්වාරක්ෂක පියවරක් ලෙස ගාඩන් ග්‍රෝව් (Garden Grove) හි පදිංචි 50,000ක පමණ සිවිල් වැසියන්ට වහාම එම ප්‍රදේශවලින් ඉවත් වන ලෙස නියෝග කර ඇත. ඔරේන්ජ් ප්‍රාන්තයේ ගිනි නිවීම් බලධාරී ප්‍රධානී ක්‍රේග් කෝවි (Craig Covey) ප්‍රකාශ කර ඇත්තේ, තමන් දැනට තත්ත්වයන් දෙකක් කෙරෙහි අවධානය යොමු කර ඇති බවයි. "පළමු වැන්න මෙය පුපුරා ගොස් රසායනික ද්‍රව්‍ය කාන්දු වීමයි, නැතහොත් මෙය මුළුමනින්ම පුපුරා යාමයි." යනුවෙන් ඔහු එහිදී සඳහන් කර ඇත.
එම විදෙස් මාධ්‍ය වාර්තාවේ සඳහන් වන ආකාරයට ඊයේ (23) වන විට මෙම ටැංකියේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 32 (ෆැරන්හයිට් 90) දක්වා ඉහළ ගොස් තිබූ අතර, එය පැයට ෆැරන්හයිට් අංශකයකින් පමණ අඛණ්ඩව ඉහළ යමින් පවතියි.
මෙම කර්මාන්ත ශාලාව සුප්‍රකට 'ඩිස්නිලන්ත' තේමා උද්‍යානයේ සිට සැතපුම් 5ක් (කිලෝමීටර 8ක්) පමණ දුරින් පිහිටා ඇති අතර, ඩීස්නිලන්තය පවතිනුයේ අවදානම් කලාපයෙන් බැහැරව බැවින් එය සාමාන්‍ය පරිදි විවෘතව පවතින බවත් එම මාධ්‍ය වාර්තාවේ සඳහන් වේ.
ටැංකියේ උෂ්ණත්වය පාලනය කිරීම සඳහා සහන කණ්ඩායම් දිගින් දිගටම ජලය ඉසීමට කටයුතු කරමින් සිටින අතර, එහි පවතින අක්‍රිය කපාටයක් (Inoperable valve) හේතුවෙන් මෙහෙයුම් කටයුතුවලට දැඩි බාධා එල්ල වී ඇති බවත්, රසායනික ද්‍රව්‍ය කාන්දු වුවහොත් ඒවා මුහුදට හෝ කාණු පද්ධතිවලට ගලා යාම වැළැක්වීම සඳහා මේ වන විට ටැංකිය වටා විශේෂ බැමි සහ වේලි ඉදිකිරීමට ද පියවර ගෙන ඇති බවත් දැක්වෙයි.
තවද, ආරක්ෂක පියවරක් ලෙස ප්‍රදේශයේ පාසල් වසා දමා ඇති අතර ප්‍රධාන මාර්ග කිහිපයක පිටවීම් ද අවහිර කර ඇති බවත් සඳහන් වේ.