හුංගම නිවසක දරුණු ද්විත්ව ඝාතනයක්
හුංගම, වාඩිගල ප්රදේශයේ නිවසක ද්විත්ව ඝාතනයක් සිදුවී ඇති බවට වාර්තා වේ. පොලීසිය සඳහන් කළේ තියුණු ආයුධවලින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවයි.
හුංගම රන්න වාඩිගල ප්රදේශයේ නිවසක පුද්ගලයින් දෙදෙනෙකු අභිරහස් ලෙස මියගොස් ඇති බවට පොලීසියට ලැබුණු තොරතුරකට අනුව සිදුකළ විමර්ශනයක දී මෙම ඝාතනය පිළිබඳ තොරතුරු අනාවරණය වී තිබේ.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 28 හැවිරිදි පුද්ගලයෙකු සහ ඔහුගේ අනියම් බිරිද බවට සිදුකළ මූලික විමර්ශනවලින් අනාවරණය වී ඇති බවයි පොලිසිය සදහන් කළේ.
අදාළ නිවසේ හිමිකරු මේ වන විට බන්ධනාගාර ගතව සිටින අතර මෙම යුවල තාවකාලික පදනම මත එම නිවසේ පදිංචිව සිට ඇති බව සදහන් වේ.
කවුරුන් විසින් කුමන හේතුවක් මත මෙම ඝාතනය සිදුකළේ ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති අතර මළසිරුරු සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදුකිරීමට නියමිතයි.
පොලිසිය මේ පිළිබඳව වැඩිදුර විමර්ශන ක්රියාත්මක කරයි.