කොළඹ පාසල් වෑන් 150කට වැඩි ප්‍රමාණයක් නුසුදුසුයි - අබලන් වාහන හදාගන්න දින 15ක කාලයක්
කොළඹ ප්‍රධාන පෙළේ පාසල්වල ළමුන් ප්‍රවාහනය කරන වෑන් රථ 150කට වැඩි ප්‍රමාණයක් තත්ත්වයෙන් නුසුදුසු බව හඳුනාගෙන ඇති අතර, ඒවා දින 15ක් ඇතුළත අලුත්වැඩියා කර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට සහ පොලිසියට වාර්තා කරන ලෙස රියදුරන්ට දැනුම් දී ඇතැයි ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසයි.
ලෝක ළමා දිනය (ඔක්තෝබර් 1) නිමිත්තෙන් 1926 ශ්‍රී ලංකා ළමා දුරකථන සේවය පිළිබඳ දැනුවත් කිරීමේ ස්ටිකර් ඇලවීමේ ජාතික වැඩසටහනේ සමාරම්භක උත්සවය පසුගිය 26 වැනිදා පෙ.ව. 6.30ට කොළඹ ආනන්ද විද්‍යාලයේදී පැවැත්විණි.
මෙම වැඩසටහනට සමගාමීව, ආනන්ද විද්‍යාලය, නාලන්දා විද්‍යාලය, රාජකීය විද්‍යාලය, විශාකා විද්‍යාලය සහ සිරිමාවෝ බාලිකා විද්‍යාලය යන පාසල්වල ළමුන් ප්‍රවාහනය කරන වෑන් රථවල ප්‍රවාහන සුදුසුකම පරීක්ෂා කිරීම ද සිදුවිය. පරීක්ෂාවට ලක්කළ රථවාහන 500කට ආසන්න ගණනකින්, තත්ත්වයෙන් නුසුදුසු වෑන් රථ 150කට වැඩි ප්‍රමාණයක් නාරාහේන්පිට ශාලිකා ක්‍රීඩාංගණයේ ගාල් කර, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් පරීක්ෂා කරන ලදී.
නුසුදුසු තත්ත්වයේ රථවාහන සඳහා දින 15ක කාලයක් අලුත්වැඩියාවට ලබාදුන් අතර, ඉන්පසු ඒවා නැවත මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට සහ පොලිසියට වාර්තා කර ප්‍රවාහන අවකාශය ලබාගන්නැයි දැනුම් දී ඇත.
මෙම වැඩසටහනට කාන්තා හා ළමා කටයුතු ඇමැතිනී සරෝජා පෝල්රාජ්, ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති විශ්‍රාමික මහාධිකරණ විනිසුරු ප්‍රීති ඉනෝකා රණසිංහ, ජාතික ළමා ආරක්ෂක අධිකාරියට අනුයුක්ත විශ්වවිද්‍යාල තානාපතිවරු, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු නිලධාරීන්, අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීන්, ශ්‍රී ලංගම නිලධාරීන් සහ පොලිසිය ඇතුළු නිලධාරීහු සහභාගි වූහ.