අල්ලස් කොමිසමට සේවකයන් ගන්න යයි - බඳවා ගන්නේ මෙහෙමයි
2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත මඟින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත ඉහළ ස්වාධීනත්වයක් ලබා දී තිබෙනවා.
ඒ අනුව එම කොමිෂන් සභාවට අනන්‍ය වූ කාර්ය මණ්ඩලයක් කොමිෂන් සභාව මඟින් පත් කරනු ලැබීම පිණිස වන විධිවිධාන එම පනතේ අන්තර්ගතව ඇති බව සඳහන්.
තවද රාජ්‍ය සේවයේ, පළාත් රාජ්‍ය සේවයේ, විගණන සේවයේ හා රාජ්‍ය සංස්ථාවක යම් නිලධරයෙකු හෝ සේවා නියුක්තයෙකු තාවකාලික පදනම මත එම කොමිෂන් සභාවට බඳවා ගැනීම වෙනුවෙන් වන විධිවිධාන ද දූෂණ විරෝධී පනතේ ඇතුළත්ව ඇති බව වාර්තා වේ.
එබැවින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහා වන නිත්‍ය කාර්ය මණ්ඩලය පත් කරන තුරු එම කොමිෂන් සභාවේ කටයුතු කාර්යක්ෂමව පවත්වාගෙන යාමට දූෂණ විරෝධී පනතේ 26(4), 26(5), 26(6), 26(8) හා 26 (9) වගන්තිවල සඳහන් විධි විධාන ප්‍රකාරව තාවකාලික පදනමින් රාජ්‍ය සේවයේ, පොලිස් සේවයේ, විගණන සේවයේ සහ පළාත් රාජ්‍ය සේවයේ මෙන්ම රාජ්‍ය සංස්ථාවල සේවයේ නියුතු නිලධාරින් අතරින් සුදුසු නිලධාරින් පත් කර ගැනීමට සුදුසු පියවර ගැනීම වෙනුවෙන් ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය මඟින් අනුමත කර ඇත.