අපරාධයකින් උත්පාදිත දේපළ රාජසන්තක කිරීමේ හැකියාව ගැන අල්ලස් කොමිසම කට අරී
‘අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත’ යටතේ පුද්ගලයෙකු වරදකරු නොකර ඔහුගේ දේපළ රාජසන්තක කළ හැකි බවත්, එවැනි දේපළ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බවත් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල්, මහාධිකරණ විනිසුරු රංග දිසානායක මහතා ඊයේ(02) පැවසීය.
කොළඹ පිහිටි අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ ප්‍රධාන කාර්යාලයේදී පැවති විශේෂ මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.
යම් දේපළක හිමිකරු එහි ආගමනය පිළිබඳව නිශ්චිත පිළිතුරක් ලබාදීමට අසමත් වන්නේ නම්, එම දේපළ සම්බන්ධයෙන් වෙනත් වරදක් හෙළි නොවුණත්, එම දේපළ රාජසන්තක කළ හැකි බව රංග දිසානායක මහතා සඳහන් කළේය. 2025 අංක 5 දරණ ‘අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත’ ඉතා වැදගත් පනතක් බවත්, එය ජූනි 1 වැනිදා සිට ක්‍රියාත්මක බවත් ඔහු පැවසීය. මෙම පනත යටතේ අල්ලස් කොමිසමේ අධ්යක්ෂ ජනරාල්වරයාට විශාල වගකීමක් පැවරී ඇති අතර, දැනටමත් විමර්ශන හතරක් ආරම්භ කර ඇති බවද ඒ මහතා කීය.
මෙම පනත යටතේ පුද්ගලයාට නොව, දේපළට අදාළව විමර්ශන සිදු කරන බැවින් එම විමර්ශන පහසු වී ඇති බවත්, එම දේපළ පුද්ගලයා සතුව තිබුණේ කෙසේද යන්න පිළිබඳව පරීක්ෂා කරන බවත් රංග දිසානායක මහතා වැඩිදුරටත් පැවසීය.
අපරාධවලින් උපයාගත් දේපළ රාජසන්තක කර ජනතාවට යුක්තිය ඉටු කිරීමට ජනතාව බලාපොරොත්තු වන බවත්, එවැනි වාහන, නිවාස, ගොඩනැඟිලි හෝ හෝටල් වැනි දේපළ පිළිබඳ ජනතාවට පැමිණිලි කළ හැකි බවත් ඒ මහතා සඳහන් කළේය.
එසේම, මෙම පනතේ විධිවිධානවලට අනුව අල්ලස් කොමිසම හෝ පොලිසියේ PCID ඒකකයක් ස්ථාපිත කළ යුතු බවත්, දෙපාර්ශ්වය මාසිකව රැස්වී තොරතුරු හුවමාරු කරගත යුතු බවත් ඒ මහතා පැවසීය. මේ සම්බන්ධයෙන් පොලිස්පතිවරයා දැනුවත් කර ඇති බවද රංග දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.