මුළු ලෝකෙටම සතුටු හිතෙන ආරංචියක් - ලොව දරුණුතම සහ ප්‍රතිකාර කිරීමට අපහසුම රෝගයක් මර්දනයට එන්නතක්
විද්‍යාඥයින් විසින් මාරාන්තික මොළයේ පිළිකා සෛල මර්දනය කිරීමට පමණක් නොව, එම සෛල නැවත යහපත් සෛල බවට පත් කළ හැකි (Reprogram) පෙරළිකාර පිළිකා මර්දන එන්නතක් නිපදවීමට සමත්ව ඇති බව වාර්තා වේ.
ඒ අනුව මෙය ලොව දරුණුතම සහ ප්‍රතිකාර කිරීමට අපහසුම පිළිකා වර්ගයක් වන 'ග්ලයෝබ්ලාස්ටෝමා' (Glioblastoma) වැනි රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙන රෝගීන්ට නව බලාපොරොත්තුවක් එක් කිරීමට සමත්ව ඇත.
සාමාන්‍යයෙන් පිළිකා සෛල ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට හසුනොවන ලෙස වර්ධනය වුවද, මෙම නව එන්නතින් ප්‍රතිශක්තිකරණ පද්ධතියට පිළිකා සෛල හඳුනා ගැනීමට විශේෂ පුහුණුවක් ලබාදෙයි.
ඒ ඔස්සේ පිළිකා සෛලවල වර්ධනය අඩාල කරන අතරම, එම සෛල සාමාන්‍ය නීරෝගී සෛල වශයෙන් ක්‍රියා කිරීමට පොළඹවනු ලබයි.
පර්යේෂණාගාර මට්ටමින් සිදුකළ පරීක්ෂණවලදී මෙම එන්නතින් පිළිකා ගෙඩි වර්ධනය වීම නැවැත්වීමටත්, ඒවායේ දරුණු බව අඩු කිරීමටත් සුවිශේෂී හැකියාවක් පෙන්නුම් කර තිබෙන බව වාර්තා වේ.
විශේෂයෙන්ම ශල්‍යකර්ම, විකිරණ හෝ රසායනික ප්‍රතිකාර (Chemotherapy) මඟින් නීරෝගී පටකවලට සිදුවන හානිය මෙමඟින් අවම වන බව විද්‍යාඥයෝ පෙන්වා දෙන බව සඳහන්.
එසේම මෙම නව නිපැයුමේ සුවිශේෂී කරුණු කිහිපයක් ඔවුන් මෙලෙස හඳුන්වාදී ඇත.
ප්‍රතිශක්තිකරණ සක්‍රීය කිරීම - සිරුරේ ස්වභාවික ආරක්ෂක පද්ධතිය පිළිකාවට එරෙහිව මෙහෙයවීම.
සෛල ප්‍රතිනිර්මාණය - පිළිකා සෛල විනාශ කරනවා වෙනුවට ඒවා යළිත් යහපත් සෛල බවට පත් කිරීමට උත්සාහ කිරීම.
නිරවද්‍යතාව - නීරෝගී සෛලවලට හානි නොකර පිළිකා සෛල පමණක් ඉලක්ක කිරීම.
කෙසේ වුවත් මේ වන විට පර්යේෂණාගාර මට්ටමේ පවතින මෙම එන්නතේ ආරක්ෂිත භාවය සහ සාර්ථකත්වය තහවුරු කර ගැනීමට ඉදිරියේදී මානව සායනික පරීක්ෂණ (Human Trials) ආරම්භ කිරීමට නියමිත බව සඳහන්.
එසේම මෙම පරීක්ෂණ සාර්ථක වුවහොත්, ලොව පුරා මාරාන්තික පිළිකා මර්දන ක්‍රියාවලියේ දැවැන්ත සංධිස්ථානයක් සනිටුහන් කරමින් පිළිකා රෝගය පාලනය කළ හැකි තත්ත්වයකට පත් කිරීමට හැකි වනු ඇතැයි විද්‍යාඥයෝ විශ්වාසය පළ කරයි.