“අපි ඩොක්ටර් ෂාෆිව උස්සන් ගියා වගේ එකපාරට අපරාධකාරයන්ව අල්ලන්නේ නැහැ” - ඇමති බිමල්
පසුගිය ආණ්ඩු සමයේ සිදුවූ අපරාධ යටගැසීමට එවකට පාලකයන් කටයුතු කළ බැවින් ඒවාට නීතිය ක්‍රියාත්මක කිරීමේදී යම් කාලයක් ගතවන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.
අනුරාධපුරයේ පැවති උත්සවයකට සහභාගී වූ අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේ පැවසීය:
“අපි ඩොක්ටර් ෂාෆිව උස්සන් ගියා වගේ එකපාරට අපරාධකාරයන්ව අල්ලන්නේ නැහැ. නීතිය විස්සයි විස්ස මැච් එකක් වගේ ක්‍රියාත්මක කරන්න හොඳ නැහැ. නීතිමය ක්‍රියාවලියට යම් කාලයක් ගතවෙනවා. ඒ සඳහා උපදේශනයක්, නිසි ක්‍රියාවලියක් තියෙන්න ඕනේ. යම්කිසි පුද්ගලයෙකුට අසාධාරණයක් සිදුවෙනවා නම්, ඔහුට ඒ ගැන කියන්න අවකාශය තිබිය යුතුයි.
මම දැක්කා ඉන්දියාවේ අගවිනිසුරුතුමා කියලා තිබුණා, නීතිය මීටර් 100ක් වගේ ක්‍රියාත්මක කරන්න හොඳ නැහැ කියලා. නමුත් අපි වේගවත්ව, නතර කරලා තිබුණ නඩුවලට අවස්ථාව ලබාදීලා තියෙනවා. රනිල් වික්‍රමසිංහත් රිමාන්ඩ් කළේ මහේස්ත්‍රාත් විනිසුරුතුමියක් නේද? ඔහු බලවත් පුද්ගලයෙක්, නීතියට උඩින් ඉන්නවා කියලා හිතපු කෙනෙක්. ඒත් ඔහුත් රිමාන්ඩ් කෙරුණා. ඒ වගේම අර්ජුන මහේන්ද්‍රන්, පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අය, ඒ හැමෝටම අදාළව අපි කටයුතු කරනවා.
දැන් ඊයේ මාධ්‍යවල තාජුඩීන් ඝාතනය ගැන අලුත් තොරතුරු එළියට ආවා. ඒ වගේ තමයි, මොකද මේ අපරාධ කළේ ගමේ සිරිපාල හෝ ඥානරත්නම් වගේ අය නෙවෙයි. මේවා කළේ රට පාලනය කළ පාලකයෝ. ඔවුන් මේ අපරාධ යටගැහුවා, වසන් කළා.
අනික මේ අපරාධ ඊයේ පෙරේදා වුණු ඒවා නෙවෙයි. තාජුඩීන් ඝාතනය 2012දී, පාස්කු ප්‍රහාරය 2019දී, මහ බැංකු බැඳුම්කර වංචාව 2015දී.
ජනාධිපතිතුමා එක්සත් ජාතීන්ගේ සංවිධානයේදීත් කිව්වා, නීතිගරුක රටක් හදනවා කියලා. ආණ්ඩුවට මාස 60ක් තිබුණත්, දැන් ගතවෙලා තියෙන්නේ මාස 12යි. තව මාස 48ක් තියෙනවා. ඒ නිසා මම හිතන්නේ ඒ මාස 48න් බාගයක් යනකොට, මේ හැමෝම නීතිය ඉදිරියේ බන්ධනාගාර ගතවෙයි.”