බෝම්බ වැස්සෙන් බීරූට් රෝහල තුවාලකරුවන්ගෙන් පිරී ඉතිරෙයි - ඊශ්‍රායලයේ අමානුෂික ප්‍රහාර ගැන ලොවම කළකිරෙයි
ලෙබනනයේ අගනුවරට බෝම්බ වර්ෂාවක් එල්ල වෙද්දී, සිය ගණනක් ජනයා බීරූට්හි අමෙරිකානු විශ්වවිද්‍යාල රෝහල (AUB) වෙත ඇදී එන්නට වූ බව වාර්තා වේ.
ඒ අනුව සිය දෙමාපියන්, සහෝදර සහෝදරියන් ජීවතුන් අතර සිටිනවාද යන්න පවා නොදැන දරුවන් ඔවුන්ව සොයමින් සිටිනු දක්නට ලැබුණු බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
අමෙරිකාව සහ ඉරානය අතර ඇති කරගත් සටන් විරාම ගිවිසුමට ලෙබනනය ද ඇතුළත් වනු ඇති බව බොහෝ දෙනා බලාපොරොත්තු තබා සිටියද, ඊශ්‍රායල හමුදා ඉකුත් බදාදා මිනිත්තු 10ක් ඇතුළත රට පුරා ඉලක්ක 100කට අධික සංඛ්‍යාවකට බෝම්බ ප්‍රහාර එල්ල කර තිබුණි.
එම රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී වෛද්‍ය සලා සයිනෙල්ඩින් සඳහන් කර ඇත්තේ, "පැයකට අඩු කාලයකදී අපට තුවාල ලැබූවන් 76 දෙනෙකු පමණ ලැබුණා. අවාසනාවකට ඉන් හය දෙනෙකු බේරා ගැනීමට අපට හැකි වුණේ නැහැ," යනුවෙන්.
එසේම ලෙබනන් සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ මූලික වාර්තාවලට අනුව, බදාදා එල්ල වූ ප්‍රහාරවලින් මියගිය සංඛ්‍යාව 303 දක්වා ඉහළ ගොස් ඇති අතර, තුවාල ලැබූ සංඛ්‍යාව 1,150ක් විය.
මේ අතර වෛද්‍ය සයිනෙල්ඩින් ප්‍රකාශ කළේ, රෝහලට රැගෙන ආ බරපතළ තුවාල ලැබූවන් අතර වැඩි පිරිසක් දරුවන් බවයි.
එහි වැඩිමහල් දරුවා අවුරුදු 12ක් වූ අතර, දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කිරීමට සිදු වූ අනෙක් රෝගීන් දෙදෙනා මාස කිහිපයක් සහ සති කිහිපයක් වයසැති බිළිඳුන් බව පවසා ඇත.
ලෙබනන් සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව මියගිය පිරිස අතර අවම ලෙස කාන්තාවන්, ළමුන් සහ වැඩිහිටියන් 110 දෙනෙකු සිටින බව සඳහන්.
එමෙන්ම පිපිරුම් හේතුවෙන් ගොඩනැගිලි කඩා වැටීමෙන් ඒවාට යටවීම නිසා සිදු වූ අස්ථි බිඳීම් සහ හිසට සිදු වූ බරපතළ තුවාල මරණවලට ප්‍රධාන හේතු වී ඇති බව වාර්තා විය.