ළමයි තනියෙන් ෆෝන් ඔබනවා නම්, Online යනවා නම් Tiktok කරනවා නම් කල්පනාවෙන්
"ටික්ටොක්" වැනි සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංවිධානය වන කණ්ඩායම් සමග දරුවන් සම්බන්ධ වීමේ බරපතළ අනතුරක් පිළිබඳව පොලීසිය අනතුරු අඟවන බව වාර්තා වේ.
ඒ අනුව මිරිහාන මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනී, ප්‍රධාන පොලිස් පරීක්ෂිකා වරුණි කේශලා බෝගහවත්ත මහත්මිය සඳහන් කර ඇත්තේ මෙවැනි කණ්ඩායම් ඔස්සේ දරුවන්ගේ නිරුවත් ඡායාරූප ලබාගෙන දෙමාපියන්ගෙන් කප්පම් මුදල් ලබාගැනීමේ සහ වෙනත් බරපතළ අපරාධ වෙනුවෙන් දරුවන් ගොදුරු කරගැනීමේ ප්‍රවණතාවක් පවතින බවයි.
එසේම ඇය පවසන්නේ ගතවූ දින හතළිහක පමණ කාලය තුළ මෙවැනි සිදුවීම් පිළිබඳව බරපතළ ගණයේ පැමිණිලි 20ක් පමණ ලැබී ඇති බවයි.
මේ අතර ඇතැම් අපරාධකරුවන් මෙම කණ්ඩායම් හරහා දරුවන් පිළිබඳ තොරතුරු ලබාගෙන ඔවුන්ගේ නිවෙස්වලට ඇතුළු වීමට උත්සාහ කළ අවස්ථා පවා වාර්තා වී ඇති බවත් පවසයි.
එනිසා ස්ථානාධිපතිවරිය අවධාරණය කර ඇත්තේ තම දරුවන්ට ජංගම දුරකථන, ලැප්ටොප් පරිගණක හෝ ටැබ් පරිගණක භාවිත කිරීමට ලබා දීමේදී, ඔවුන් ඒවා භාවිත කරන ආකාරය පිළිබඳව නිරන්තර දෙමාපිය අධීක්ෂණයක් පැවතීම අතිශයින් වැදගත් බවයි.
ඇය තවදුරටත් ප්‍රකාශ කළේ දරුවන්ට ඔවුන්ගේ කාමර තුළ තනිවම මෙම උපකරණ භාවිත කරමින් අධ්‍යාපන කටයුතුවල නිරතවීමට ඉඩ නොතබන ලෙසයි.
එමෙන්ම ඇය දෙමාපියන්ගෙන් විශේෂයෙන් ඉල්ලා ඇත්තේ එවැනි හුදකලා අවස්ථාවලදී දරුවන් නොදැනුවත්වම මෙවැනි අපරාධකාරී කණ්ඩායම්වලට සම්බන්ධ වීමේ වැඩි ඉඩකඩක් පවතින බැවින් තම දරුවන් අන්තර්ජාලය ඔස්සේ සිදුකරන ක්‍රියාකාරකම් පිළිබඳව දෙමාපියන් නිරතුරුව අවධානයෙන් සිටිය යුතු බවයි.
