මාලිමා මන්ත්‍රිනියගේ සැමියාට පහරදුන් සියල්ල අත්අඩංගුවට
පුත්තලම කල්අඩිය ප්‍රදේශයේදී පුත්තලම ප්‍රාදේශීය සභාවේ මාලිමා මන්ත්‍රිවරියකගේ සැමියාට අමානුෂික ලෙස පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කාන්තාවන් දෙදෙනකු ඇතුළු තිදෙනකු අත්අඩංගුවට ගත් බව පුත්තලම මූලස්ථාන පොලිසිය පවසයි.
ගංවතුරින් හානි වූ මාර්ග ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා ඉඩමකින් බොරළු ප්‍රවාහනය කරමින් සිටියදී නිවාස සංවර්ධන අධිකාරියට අයත් ඉඩමක අනවසරයෙන් පදිංචිව සිටි පිරිසක් ඊට විරෝධය දක්වමින් මාර්ගයට කඩා වැදී ඇත.
එහිදී උණුසුම් වචන හුවමාරුවක්ද සිදුව තිබේ. එම අවස්ථාවේදී මන්ත්‍රිවරියගේ සැමියා විසින් කාන්තාවකට අසභ්‍ය වචනයකින් ඇමතීමක් කළ බවට සඳහන් වන අතර එයට කුපිත වූ ප්‍රධාන සැකකාරිය හෙවත් එම කාන්තාව ඔහුට පහර දීමට පටන්ගෙන ඇති අතර අනෙක් අයද එයට එක්ව තිබේ. මෙම පහර දීම වීඩියෝ කර අදාල දර්ශන සමාජ මාධ්‍යයට මුදා හැර ඇත.
ඒ අනුව සිදු කළ විමර්ශනවලදී 26 හැවිරිදි කාන්තාවක්, ඇගේ අනියම් සැමියා ලෙස හඳුන්වන 46 හැවිරිදි පුද්ගලයෙක් සහ තවත් කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇති අතර, සැකකරුවන් අද (25) පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය සඳහන් කරයි.