ලිංගික සංක්‍රාන්ති සැත්කමෙන් පසු සංජේ බන්ගාර්ගේ දියණිය අනයා ඕස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් පිටියට
හිටපු ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයෙකු සහ පුහුණුකරුවෙකු වන සංජේ බන්ගාර්ගේ දියණිය වන අනයා බන්ගාර්, 2027 මාර්තු මාසයේ සිට ඕස්ට්‍රේලියාවේ තරඟකාරී කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවට යළි එක්වීමට සූදානමින් සිටින බව වාර්තා වේ.
මේ වසර මුලදී ස්ත්‍රී පුරුෂ භාවය තහවුරු කිරීමේ සැත්කමකට භාජනය වූ අනයාට, ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත සහ ප්‍රදේශ මට්ටමේ ප්‍රිමියර් ක්‍රිකට් තරඟ ඇතුළු කාන්තා ප්‍රජා ක්‍රිකට් සඳහා සහභාගී වීමට ක්‍රිකට් ඕස්ට්‍රේලියාව අවසර ලබා දී තිබේ.
කෙසේ වෙතත්, කාන්තා බිග් බෑෂ් ලීගය (WBBL) වැනි ප්‍රභූ මට්ටමේ තරඟ සඳහා තේරී පත්වීම ඇතුළු අවස්ථා ලබා ගැනීම, ක්‍රිකට් ඕස්ට්‍රේලියාවේ ස්ත්‍රී පුරුෂ භාවය සම්බන්ධ සුදුසුකම් ප්‍රතිපත්තිය සපුරාලීම මත රඳා පවතී.
එම ප්‍රතිපත්තියට අනුව, ප්‍රභූ කාන්තා ක්‍රිකට් කාණ්ඩයට තරඟ කිරීමට අපේක්ෂා කරන ක්‍රීඩිකාවක් අවම වශයෙන් අඛණ්ඩව මාස 12ක කාලයක් සිය සෙරුම් ටෙස්ටොස්ටෙරෝන් මට්ටම ලීටරයකට නැනෝමෝල් 10කට (10 nmol/L) වඩා අඩු මට්ටමක පවත්වාගෙන ගොස් ඇති බව තහවුරු කළ යුතුය.
අනයා විසින් ඉදිරිපත් කළ වෛද්‍ය තොරතුරු සැලකිල්ලට ගනිමින්, අවශ්‍ය මාස 12ක කාලය 2027 මාර්තු මාසයේදී සම්පූර්ණ වනු ඇතැයි ක්‍රිකට් ඕස්ට්‍රේලියාව තීරණය කර තිබේ. එම කාලය සම්පූර්ණ වූ පසු ඇයට රුධිර පරීක්ෂණයකට යොමු වීමට සිදුවනු ඇති අතර, එහිදී ඇයගේ ටෙස්ටොස්ටෙරෝන් මට්ටම නියමිත සීමාවට වඩා අඩු බවත්, අදාළ ප්‍රතිපත්ති අවශ්‍යතා තවදුරටත් සපුරාලන බවත් තහවුරු කළ යුතුය
. මාධ්‍ය වෙත අදහස් දක්වමින් අනයා පැහැදිලි කළේ ක්‍රිකට් ඕස්ට්‍රේලියාවේ මෙම තීරණය කණ්ඩායමක ස්ථානයක් සහතික කිරීමක් නොව, ප්‍රභූ මට්ටමේ කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවට සහභාගී වීමට අවස්ථාවක් ලබාදීමක් බවයි.
"සුදුසුකම් ලැබීම කියන්නේ තේරී පත්වීම නොවෙයි," යනුවෙන් ඇය සඳහන් කරමින්, එම අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට නම් තවදුරටත් පුහුණුවීම් සිදුකරමින්, තරඟවලට සහභාගී වී දක්ෂතා දැක්විය යුතු බව පෙන්වා දුන්නාය. WBBL ඇතුළු ප්‍රභූ කාන්තා ක්‍රිකට් සඳහා අවසානයේදී තේරී පත්වීම තම ප්‍රධාන අභිලාෂය බව ද අනයා පැවසුවාය.
හිටපු මුම්බායි වයස් කාණ්ඩයේ ක්‍රිකට් ක්‍රීඩිකාවක වන අනයා, සර්ෆරාස් ඛාන් සහ මුෂීර් ඛාන් ඇතුළු ක්‍රීඩකයින් සමඟ මීට පෙර ක්‍රිකට් ක්‍රීඩා කර තිබේ. මේ අතර, ක්‍රිකට් ඕස්ට්‍රේලියාවේ දේශීය ප්‍රතිපත්තිය, ජාත්‍යන්තර ක්‍රිකට් පාලනය කරන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) නීතිවලට වඩා වෙනස් වේ.
2023 වසරේදී ICC විසින් පිරිමි වැඩිවිය පැමිණීම අත්විඳ ඇති සංක්‍රාන්ති ලිංගික කාන්තාවන්ට ජාත්‍යන්තර කාන්තා ක්‍රිකට් තරඟ සඳහා සහභාගී වීමට සුදුසුකම් නොමැති බවට තීරණය කර තිබේ.