පේරාදෙණිය විශ්වවිද්‍යාලයට අතුරු තහනම් නියෝගයක්
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ප්‍රධාන ආරක්‍ෂක නිලධාරී එන්.කේ.සූරියබණ්ඩාර මහතා වහාම ක්‍රියාත්මක වන ලෙස නැවත එම තනතුරෙහි සේවයේ පිහිටුවන මෙන් අභියාචනාධිකරණය මඟින් නියෝග කර තිබෙනවා.
එසේම ඒ හා සමග ඔහුට එරෙහිව ඉදිරිපත් කර තිබෙන චෝදනා පත්‍රය අත්හිටුවීමට සහ වැඩ තහනම අත්හිටුවීමට ද තවත් අතුරු තහනම් නියෝග දෙකක් නිකුත් කිරීමට අභියාචනාධිකරණය කටයුතු කර ඇති බව වාර්තා වේ.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සේවකයන් පිරිසක් උපකුලපතිවරයා වෙත ඉදිරිපත් කර තිබෙන පෙත්සමක් පිළිබඳව පරීක්‍ෂණයක් කිරීමට එහි ප්‍රධාන ආරක්‍ෂක නිලධාරීවරයා වශයෙන් කටයුතු කළ එන්.කේ.සූරියබණ්ඩාර මහතාව 2023-12-01 දින සිට අනිවාර්ය නිවාඩු යවා තිබූ අතර අනතුරුව වැඩ තහනමකටද ලක් කර ඇති බව සඳහන් වුණා.
එහෙත් එන්.කේ.සූරියබණ්ඩාර මහතා පේරාදෙණිය විශ්වවිද්‍යාලය මඟින් ගත් එම පියවර අභියෝගයට ලක් කරමින් නෙළුම් සේනානායක ඇසෝසියේට්ස් නීතීඥ සමාගම මගින් අභියාචනාධිකරණයේ අංක CA WRIT 705/’2025 දරණ රිට් පෙත්සම ගොනුකර තිබූ අතර එමගින් නීතිවිරෝධී විනය ක්‍රියාවලිය අත්හිටුවීම සහ යළි සේවයේ පිහිටුවීම ඇතුළු සහන කිහිපයක් ඉල්ලා සිටිමින් පේරාදෙණිය විශ්වවිද්‍යාලය ඇතුළු වග උත්තරකරුවන් 33 දෙනෙකු නම් කර තිබූ බව වාර්තා විය.
අඳාළ පෙත්සම 2025-09-12 වන දින කැදවන ලද අවස්ථාවේදී මෙම නියෝග ලබාදී ඇත.
ඒ අනුව අභියාචනාධිකරණය මඟින් 2025-09-12 වන දින සිට සති 5 ක කාලයක් ඇතුළත විරෝධතා ඇත්තම් ගොනුකරන මෙන් මෙම නඩුවේ වගඋත්තරකරුවන් 33 දෙනා වෙත නියෝග කර තිබූ අතර ඔවුන් වෙත විධිමත් නොතීසි නිකුත් කිරීමටද කටයුතු කර තිබෙනවා.
මෙහිදී පෙත්සම්කාර එන්.කේ.සූරියබණ්ඩාර මහතා සඳහා ජනාධිපති නීතීඥ සංජීව ජයවර්ධන මහතා සමග නීතීඥ රන්මලී මීපාගල මහත්මිය පෙනී සිට ඇති අතර වගඋත්තරකරුවන් සඳහා නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ෂුරි ෂෙයින් මහත්මිය පෙනී සිට ඇති බව වාර්තා වුණා.