අනුරාධපුර මෙගාවොට් 10ක බැටරි බලශක්ති ගබඩාව ජනපති අතින් ජාතික පද්ධතියට
මෙරට පුනර්ජනනීය බලශක්ති ධාරිතාව ඉහළ නංවමින් සහ විදුලි පද්ධතියේ ස්ථාවරත්වය තහවුරු කරමින් අනුරාධපුරයේ ඉදිකරන ලද මෙගාවොට් 10 (මෙගාවොට් පැය 40) බැටරි බලශක්ති ගබඩා පද්ධතිය ජාතික විදුලිබල පද්ධතියට එක්කිරීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (18) පෙරවරුවේ සිදුවිය.
ස්ටෝර්එක්ස් පුද්ගලික සමාගමේ දායකත්වයෙන් ස්ථාපනය කළ මෙම පද්ධතිය මඟින් දිවා කාලයේ නිපදවන අතිරික්ත සූර්ය බලය ගබඩා කරගෙන, රාත්‍රී කාලයේ විදුලි ඉල්ලුම වැඩි අවස්ථාවලදී ජාතික පද්ධතියට මුදාහැරීමට කටයුතු කෙරේ.
මෙය ස්ටෝර්එක්ස් සමාගම මඟින් ක්‍රියාත්මක කරන සමස්ත මෙගාවොට් 130ක සහ මෙගාවොට් පැය 520ක ධාරිතාවයකින් යුත් බැටරි බලශක්ති ගබඩා පද්ධති 13 හි පළමු අදියර වන අතර, ඉතිරි ව්‍යාපෘති ඉදිරි මාස කිහිපය තුළ අවසන් කර ජාතික පද්ධතියට එක් කිරීමට නියමිතයි.
මෙම උත්සවයට එක්වූ බලශක්ති අමාත්‍ය අරුණ කරුණාතිලක මහතා සඳහන් කළේ පවිත්‍ර විදුලි ජනනය මඟින් අඩු පිරිවැයකින් ජනතාවට අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදීම රජයේ ප්‍රධාන අරමුණ බවයි.
මෙම ව්‍යාපෘතියට සමගාමීව තම්මැන්නාපුර විද්‍යාලයට මුද්‍රණ යන්ත්‍රයක් පරිත්‍යාග කිරීම සහ සාමාන්‍ය පෙළ සිසුන් 10 දෙනෙකුට ශිෂ්‍යත්ව පිරිනැමීම ද ජනාධිපතිවරයා අතින් සිදුකෙරුණු අතර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ රාජ්‍ය නිලධාරීන් රැසක් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.