ලූනු මිලට තිත තියන්න කෘෂිකර්මයෙන් සුපිරි වැඩක්
දේශීය ලොකු ලූනු නිෂ්පාදනය ඉහළ නැංවීමේ අරමුණින් ලොකු ලූනු බීජ නිෂ්පාදන ගම්මානයක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව අනුරාධපුර නාච්චදූව ගොවි ජනපදය ලොකු ලූනු බීජ නිෂ්පාදන ගම්මානයක් ලෙස සංවර්ධනය කිරීමට පියවර ගෙන ඇති බව එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ පී. සිසිර කුමාර මහතා සඳහන් කළේය.
මෙරට වාර්ෂික ලොකු ලූනු අවශ්‍යතාව මෙට්‍රික් ටොන් 325,000ක් වන අතර, දේශීයව නිෂ්පාදනය කරනු ලබන්නේ මෙට්‍රික් ටොන් 50,000ක් පමණක් බව වාර්තා වෙයි.
මෙම වසර තුළ දේශීය ලොකු ලූනු නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 70,000 දක්වා ඉහළ නැංවීමේ අරමුණින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.
ගුණාත්මක ලොකු ලූනු බීජ දේශීයව නිෂ්පාදනය කිරීම මඟින් බීජ ආනයනය සඳහා වැයවන පිරිවැය අවම කර ගැනීමද මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණක් ලෙස සඳහන් වේ. මෙම ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවය හෙට (25) දිනයේ පැවැත්වීමට නියමිත බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ප්‍රකාශ කළේය.