ධීවරයන්ටත් ගොවීන්ටත් ජනපතිගෙන් විශාල සහන
ඉලක්කගත ප්‍රජාවකට ඉන්ධන සහන ලබාදීමට කටයුතු කරන බවත් ඩීසල් ලීටරයක් වෙනුවෙන් රුපියල් සීයක වියදමක් රජය විසින් දරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක අද(07) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළා. රටේ පවතින ආර්ථික තත්ත්වය සහ ජනතාවට ලබා දෙන සහන සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමිනුයි ජනාධිපතිවරයා මේ බව පැවසුවේ.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා මෙසේද පැවසුවා. ඩීසල් ලීටරයක් වෙනුවෙන් රජය රුපියල් සීයක වියදමක් දරනවා.මේ නිසා ඒ සඳහා මසකට රුපියල් කෝටි 2000 ක් වැය වෙනවා. දැනට මාස තුනකට මෙම වියදම දරන්න රුපියල් කෝටි 6000ක් වෙන් කරනවා. පෙට්‍රල් සඳහා ලීටරයකට රුපියල් 20ක් රජයෙන් වැය කරනවා.
නමුත් සුපිරි ඩීසල් සහ සුපිරි පෙට්‍රල් සඳහා රජය එම වියදම දරන්නේ නෑ. සුපිරි ඩීසල් සහ සුපිරි පෙට්‍රල් සඳහා වෙළඳපොළ මිලටම මිල ගලපනවා. මීට අමතරව ධීවර කර්මාන්තයේ යෙදෙන සාමාන්‍ය ඇන්ජින් බෝට්ටු සඳහා සාමාන්‍ය ඉන්ධන මිලෙන් ලීටරයකට රුපියල් 50ක අඩුවීමක් ලබා දෙනවා. මාස තුනකට වරක් පමණ දියඹට යන බහු දින ධීවර යාත්‍රාවක් සඳහා රුපියල් ලක්ෂ එකහමාරක ඉන්ධන දීමනාවක් ලබා දෙනවා .
මීට අමතරව විදුලිය,පොහොර, ගෑස් ඇතුළු තවත් කරුණු රැසක් සම්බන්ධයෙන්ද ජනාධිපතිවරයා අදහස් ප්‍රකාශ කළා. ඉන්ධන හා බලශක්තිය පිළිබඳ විශේෂ අවධානයක් යොමුකළ බවද පැවසු ජනාධිපතිවරයා, ඉන්ධන පිරිවැයට අනුව ගැලපීමේ දී ජන ජීවිතයට බලපෑම් එල්ල වන බවද පැවසුවා. අස්වැසුම වැඩසටහන යටතේ ලියාපදිංචි වී ඇති අඩු ආදායම්ලාභී කාණ්ඩයන් සඳහා පවුලක සාමාජික සංඛ්‍යාව නොසලකා 2026 අප්‍රේල් මාසය සඳහා අමතර විශේෂ දීමනාවක් ලබා දෙනවා.
රුපියල් 7,500/- ක මුදලක් අන්ත දිළිඳු කාණ්ඩයේ පවුලක් වෙත ලබා දෙනවා . රුපියල් 5,000/-ක මුදලක් දුප්පත් කාණ්ඩයේ පවුලක් වෙත ලබා දෙනවා. රුපියල් 2,500/- ක මුදලක් සංක්‍රාන්තික පවුලක් වෙත ලබා දෙනවා.
මේ පාසල් ලැයිස්තුවෙන් ඉවත් කරලා..ගුරු විදුහල්පතිවරුන්ට වැඩි කරලා දෙනවා කිව්ව දුෂ්කර දීමනාව අහිමි කරලා - ස්ටාලින්
විදුලි සහනාධාරය සම්බන්ධයෙන්ද ජනාධිපතිවරයා අදහස් ප්‍රකාශ කළා. ඒකක 90ට අඩු අයට සහන දෙන්න රුපියල් බිලියන 15ක් වෙන් කරනවා. ඉන්ධන මිල ඉහළ යාමක්, පවතින වියළි කාලගුණික තත්ත්වයත් හේතුවෙන් විදුලිය ජනනය කිරීම සඳහා තාප බලාගාර යෙදවීම වෙනුවෙන් දැරීමට සිදුවන අමතර පිරිවැය විදුලි පාරිභෝගිකයන් වෙත විතැන් කිරීම වෙනුවට, ඒකක 90ට අඩු විදුලි පාරිභෝගිකයින්හට සහනයක් ලබා දීමට හැකි වන පරිදි අදාළ අමතර පිරිවැය මාස 03ක කාලයක් සඳහා රජය විසින් දරනවා.
පොහොර සහනාධාරය සම්බන්ධයෙන්ද ජනාධිපතිවරයා අදහස් දැක්වුවා. හෙක්ටයාරයකට රු 25,000ක් ලෙස ලබාදෙන පොහොර සහනාධාරය යල කන්නය සඳහා රු 30,000ක් දක්වා ඉහළ නංවනවා. අතිරේක භෝග සඳහා හෙක්ටයාරයකට රු 15,000ක් වූ පොහොර සහනාධාරය යල කන්නය සඳහා රු 18,000දක්වා ඉහළ නංවනවා.
ගොවීන්ට, ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා යල කන්නය සඳහා යූරියා කිලෝග්‍රෑම් 50ක පොහොර මිටියක් රු 10,200ක ස්ථාවර මිලකට ලබා දෙනවා. ධීවර සහනාධාරය සම්බන්ධයෙන්ද ජනාධිපතිවරයා අදහස් දැක්වුවා.
එක් දින ධීවර යාත්‍රාවක් සඳහා දිනකට ලීටර 25 බැගින් මසකට උපරිම දින 25ක් දක්වා ඉන්ධන ලීටරයකට රු 50 බැගින් වූ සහනාධාරයක් මාස 3ක් සඳහා ලබා දෙනවා. ඉදිරි මාස 3 තුළ ධීවර කර්මාන්තයේ යෙදෙන බහුදින ධීවර යාත්‍රාවක් සඳහා රු 150,000 එකවර ගෙවනු ලබන දීමනාවක් ලබා දෙනවා.