ලංකාවේ සංවර්ධන ගමනට ආසියානු සංවර්ධන බැංකුව අඛණ්ඩව පිටුබල දෙයි
ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාවලියට ආසියානු සංවර්ධන බැංකුවේ අඛණ්ඩ සහාය ලබාදෙන බව එහි නව දේශීය අධ්‍යක්ෂවරිය වන ෂැනන් කව්ලින් මහත්මිය අවධාරණය කර තිබේ.
ඊයේ (12) පස්වරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවූ අවස්ථාවේදී ඇය මේ බව ප්‍රකාශ කර ඇති අතර, මෙරට සඳහා අලුතින් පත්වූ ආසියානු සංවර්ධන බැංකුවේ දේශීය අධ්‍යක්ෂවරිය ලෙස ඇයව නිල වශයෙන් ජනාධිපතිවරයාට හඳුන්වා දීම ආසියානු සංවර්ධන බැංකුවේ කලාපීය අධ්‍යක්ෂවරයා විසින් සිදුකරන ලදී.
ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයකට අනුව, වසර ගණනාවක් පුරා ගොඩනැගුණු ශක්තිමත් හවුල්කාරිත්වය මත පදනම්ව ශ්‍රී ලංකාව සමඟ පවතින සබඳතා තවදුරටත් පුළුල් කිරීමට කව්ලින් මහත්මිය අපේක්ෂා කරන බව සඳහන් වේ.
ලෝකයම බලා සිටින ඉන්දීය - පාකිස්තාන ක්‍රිකට් ගැටුම - කොළඹ තරගයේ ප්‍රවේශ පත්‍ර අඩුම එක තිස්හතර දහසයි!
මෙම හමුවේදී ආසියානු සංවර්ධන බැංකුවේ ආධාර යටතේ මෙරට ක්‍රියාත්මක වැඩසටහන්වල ඵලදායිතාව සහ ආයතනික සම්බන්ධීකරණයේ සාර්ථකත්වය පිළිබඳව නියෝජිත පිරිස සතුට පළ කර ඇත.
එසේම, 'දිට්වා' සුළි කුණාටුවෙන් ඇති වූ ව්‍යසනය පිළිබඳව විශේෂ අවධානය යොමු වී ඇති අතර, යථා තත්ත්වයට පත්කිරීමේ වැඩපිළිවෙළ සහ ප්‍රතිසංස්කරණ කටයුතු වේගවත් කිරීම සඳහා රජය ආරම්භ කර ඇති ක්‍රියාමාර්ග පිළිබඳවද සාකච්ඡාවට බඳුන් විය.
වත්මන් රජය යටතේ ලබාගත් ආර්ථික ප්‍රගතිය විශේෂයෙන් අවදානමට ලක්විය හැකි ප්‍රදේශවල ජනතාවට දැනෙන සුලු ලෙස බෙදාහැරීම රජයේ ප්‍රධාන අරමුණක් බව ජනාධිපති දිසානායක මහතා මෙහිදී පෙන්වා දී ඇත.
මධ්‍යම කඳුකරය සහ කඳුකර ප්‍රදේශ ආශ්‍රිත දිගුකාලීන පාරිසරික බලපෑම් පැහැදිලි කරමින්, එම පරිසර පද්ධති යථා තත්ත්වයට පත්කිරීම, ජල මූලාශ්‍ර ආරක්ෂා කිරීම සහ බලපෑමට ලක්වූ ප්‍රජාවන්ට ස්ථිර ජීවනෝපාය මාර්ග සකස් කිරීමේ කඩිනම් අවශ්‍යතාව ජනාධිපතිවරයා අවධාරණය කළේය.
මෙම අභියෝගවලට මුහුණ දීම සඳහා දිගුකාලීන වැඩපිළිවෙළක අවශ්‍යතාව පෙන්වා දුන් ජනාධිපතිවරයා, ආසියානු සංවර්ධන බැංකුවේ සහාය කෘතවේදීව පිළිගන්නා බවද ප්‍රකාශ කර තිබේ.
එසේම, 2026 වසරේ සිට මෙරට සිදුකිරීමට සැලසුම් කර ඇති ආසියානු සංවර්ධන බැංකුවේ ආයෝජන, ලබාදීමට අපේක්ෂිත අයවැය සහාය සහ මෙම වසරේ මැදභාගයේදී සිදුකිරීමට නියමිත ආසියානු සංවර්ධන බැංකුවේ සභාපතිවරයාගේ ශ්‍රී ලංකා සංචාරය ඇතුළු ඉදිරි සැලසුම් පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණි.