පවතින කාලගුණික තත්ත්වය මත ප්‍රධාන ජලාශ 16ක් තවදුරටත් වාන් දමයි
දිවයිනේ පවතින අධික වර්ෂාපතනයත් සමඟ අද (2026 මැයි 13) පෙරවරු 6.00 වන විට ප්‍රධාන ජලාශ 16ක් සහ මධ්‍ය පරිමාණ ජලාශ 17ක් තවදුරටත් වාන් දමමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
වාරිමාර්ග අධ්‍යක්ෂ (ජල කළමනාකරණ) ඉංජිනේරු එච්.එම්.පී.එස්.ඩී හේරත් මහතා සඳහන් කළේ පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ජලාශවල ජල මට්ටම සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බවයි.
දැනට වාන් දමන ප්‍රධාන ජලාශ අතර අනුරාධපුර දිස්ත්‍රික්කයේ රාජාංගනය, බදුල්ල දිස්ත්‍රික්කයේ අඹේවෙල, හම්බන්තොට දිස්ත්‍රික්කයේ මවුආර, ලුණුගම්වෙහෙර, තිස්ස වැව, වීරවිල, යෝධ වැව සහ වෙහෙරගල යන ජලාශ ප්‍රමුඛ වේ.
විශේෂයෙන්ම රාජාංගනය ජලාශයේ වාන් දොරටු 12ක් තවදුරටත් විවෘත කර තබා ඇති අතර ඒ හරහා තත්පරයට ඝන අඩි 14,000කට අධික ජල ධාරිතාවක් කලා ඔයට මුදා හැරේ.
මේ හේතුවෙන් කලා ඔය සහ අනෙකුත් වාන් දමන ජලාශ ආශ්‍රිත පහත් බිම්වල වෙසෙන ජනතාව ගංවතුර අවදානම පිළිබඳව දැඩි අවධානයෙන් පසුවිය යුතු බවත්, ගංගා පරිහරණයේදී වඩාත් සැලකිලිමත් වන ලෙසත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC) ජනතාවගෙන් ඉල්ලා සිටියි.
ඉදිරි දින කිහිපයේදී ද වැසි තත්ත්වය බලාපොරොත්තු විය හැකි බැවින් ජලාශවල ආරක්ෂාව පිළිබඳව නිරන්තර අධීක්ෂණය ක්‍රියාත්මක බව ද බලධාරීහු වැඩිදුරටත් පවසති.