මන්නාරමේ දැවැන්ත ප්‍රශ්නයක් - දින 100ක අඛණ්ඩ විරෝධතාවක්
මන්නාරම දිස්ත්‍රික් සිවිල් සංවිධාන එකමුතුව මඟින් මන්නාරම දිස්ත්‍රික්කයේ සුළං විදුලි බලාගාර ඉදිකිරීම් නවතා දමන ලෙස හා මන්නාරම දූපත ආශ්‍රිතව ඛනිජ වැලි කැනීම් සඳහා අවසර නොදෙන මෙන් ඉල්ලා පවත්වන විරෝධතාවය තවදුරටත් අඛණ්ඩව සිදු කිරීමට තීරණය කර ඇත.
ඒ අනුව මෙම කරුණු මුල් කරගනිමින් මන්නාරම ප්‍රදේශයේ ජනතාව ආරම්භ කළ අඛණ්ඩ විරෝධතාවට මේ වන විට දින 100කට ආසන්න කාලයක් ගතවී තිබෙනවා.
මේ පිළිබඳව ඊයේ දින මාධ්‍ය හමුවක් පවත්වමින් මන්නාරම දිස්ත්‍රික් සිවිල් සංවිධාන එකමුතුව සඳහන් කළේ ඉදිරි කාලයේදී කිසිදු සුළං බලාගාරයක් මන්නාරම් ඉදි නොකිරීමට ආණ්ඩුව ගත් තීරණය පිළිබඳව ප්‍රසාදය පළ කළ ද දැනට ඉදිකර ඇති සුළං විදුලි බලාගාර නිසා ප්‍රදේශයේ ජනතාව මුහුණ දී සිටින ගැටළු සඳහා සාධාරණ විසඳුම් ලබාදීමට පියවර ගෙන නැති බවයි.
ඒ අනුව එම ගැටළු සඳහා නිවැරදි විසඳුම් ලබාදීම මෙන්ම මන්නාරම දූපත ආශ්‍රිතව සිදු කිරීමට නියමිත ඛනිජ වැලි කැනීම් නවත්වන බවට පොරොන්දුවක් ලබා දෙන්නේ නම් පමණක් තම අඛණ්ඩ විරෝධතාව අත්හිටුවන බවට ඔවුන් ප්‍රකාශ කරයි.
මෙම මාධ්‍ය හමුවට එක් වූ මන්නාරම දිස්ත්‍රික් සිවිල් සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු දේවගැති අරුන්තන්දෙයි මාර්කස් පියතුමා සඳහන් කළේ සිය අයිතීන් රැක ගැනීම වෙනුවෙන් සිදු කරන මෙම ඉල්ලීම් සඳහා යහපත් මැදිහත්වීමක් ලැබෙනු ඇති බවට අපේක්ෂා කරන බවයි.