වාහන නිෂ්පාදනය සම්බන්ධයෙන් සුබ ආරංචියක් - නව වාහන වර්ගයක් වෙළෙඳපලට
චීන විදුලි වාහන නිෂ්පාදකයෙකු වන Xpeng සමාගම සිය නවතම තාක්ෂණික නිපැයුම් කිහිපයක් වෙළෙඳපොළට හඳුන්වා දීමට සූදානම් වන බව එම සමාගමේ සභාපති බ්‍රයන් ගු (Brian Gu) ප්‍රකාශ කර තිබේ.
ඒ අනුව, සමාගමේ "පියාඹන මෝටර් රථ" නිෂ්පාදනය ලබන වසරේදී (2027) ආරම්භ කිරීමට සැලසුම් කර ඇති අතර, මේ වන විටත් ඒ සඳහා ඇණවුම් 7,000කට වඩා ලැබී ඇත.
මෙම ඇණවුම්වලින් බහුතරයක් චීනයෙන් ලැබී ඇති අතර, දැනට පියාසර අනුමැතිය ලබා ගැනීමේ කටයුතු සිදුවෙමින් පවතී. මීට අමතරව, මානව හැඩැති රොබෝවරුන් (Humanoid Robots) නිෂ්පාදනය මෙම වසරේ (2026) සිව්වන කාර්තුවේදී ආරම්භ කිරීමට නියමිතය.
මෙම රොබෝවරුන් මූලික වශයෙන් පිළිගැනීමේ නිලධාරීන් ලෙස හෝ පාරිභෝගික සබඳතා අංශ සඳහා යොදා ගැනීමට අපේක්ෂිතය.
සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ, ජර්මානු මෝටර් රථ දැවැන්තයෙකු වන වොක්ස්වැගන් (Volkswagen) සමාගම සමඟ සහයෝගීතාව ඉහළ නැංවීමටත්, අනෙකුත් නිෂ්පාදකයින් සමඟ හවුල්කාරිත්වයන් ඇති කර ගැනීමටත් Xpeng විවෘතව සිටින බවයි.
එමෙන්ම, මෙම වසරේදී ගුවැන්ෂු නගරයේදී රොබෝ ටැක්සි (Robotaxi) පරීක්ෂණ අරඹන අතර, ඉදිරි මාස 18 තුළ රොබෝ ටැක්සි දහස් ගණනක් නිෂ්පාදනය කිරීම ඔවුන්ගේ ඉලක්කය වී තිබේ.