මේ ආණ්ඩුවත් EPF එකට අත තියයිද? පනතේ සංශෝධන රැසක් ළඟදීම… මහින්දම කියයි

Report

සේවක අර්ථසාධක අරමුදල් (EPF) පනත කාලීන අවශ්‍යතාවය අනුව සංශෝධනය කිරීම සඳහා ජාතික කම්කරු උපදේශන සභාව සමඟ සාකච්ඡා ආරම්භ කර ඇති බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ ඉකුත් 06 වැනිදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

ඔහු සඳහන් කළේ, පුද්ගලික අංශ සේවකයන්ගේ විශ්‍රාම දිවිය වඩාත් සුරක්ෂිත කිරීම සහ EPF අරමුදලෙන් 30% ක් ලබා ගැනීම පහසු කිරීම සඳහා රජය තීරණාත්මක සංශෝධන රැසක් සූදානම් වන බවයි. මෙම සංශෝධන හරහා ලිපි ලේඛන අවශ්‍යතා අවම කර, ප්‍රතිලාභ ලබා ගැනීමේ ක්‍රියාවලිය වඩාත් නම්‍යශීලී කිරීමට රජය බලාපොරොත්තු වේ.

ප්‍රධාන සංශෝධන අරමුණු:

  • 30% ක් ලබාගැනීමේ ක්‍රියාවලිය සරල කිරීම: දැනට EPF අරමුදලෙන් 30% ක් ලබා ගැනීමේදී යම් අවශ්‍යතා සහ ලිපි ලේඛන ඉදිරිපත් කිරීම් නිසා සේවකයන්ට අපහසුතාව පවතින බව හඳුනාගෙන ඇත.
  • කම්කරු දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය: පසුගිය 29 වනදා නව EPF මෘදුකාංගයක් හඳුන්වා දී ඇති අතර, සේවකයන්ට online ක්‍රමයෙන් ලියාපදිංචි වීමේ පහසුකම් සලසා ඇත. නව ව්‍යවසායකයින්ටත් මෙය ලබා දී ඇති අතර, පෙර පවතින පත්‍ර පුරවීමේ ක්‍රියාවලිය අවශ්‍ය නොවේ.
  • පුද්ගලික අංශ සේවකයන්ට විශ්‍රාම වැටුප් ක්‍රමයක්: EPF අරමුදල අර්ධ රාජ්‍ය සහ පෞද්ගලික අංශ සේවකයන් සඳහා විශ්‍රාම අරමුදලක් ලෙස ක්‍රියා කරන අතර, ETF අරමුදල හරහා සාමාජිකයින් දැනුවත් කිරීම සහ ව්‍යවසායකත්වය දිරිමත් කිරීම වැදගත් බවයි.

අමාත්‍යවරයා අවධාරණය කළේ, මෙම සංශෝධන කලින් ආණ්ඩු අනුගමනය කළ ස්වයංක්‍රීය ක්‍රියාපිළිවෙත අනුගමනය නොකර ජාතික කම්කරු උපදේශන සභාව සමඟ සාකච්ඡා කර සිදු කිරීම සාධනීය පියවරක් බවයි. මෙය සේවකයන්ට සැබෑ ලෙස යහපත් ප්‍රතිලාභ ලබා දීමේ අරමුණින් සිදු කෙරෙන බවද ඔහු වැඩිදුරටත් පැවසීය. 

GalleryGallery