රඛිත, චරිත් නඩුවට හිටපු අධිකරණ අමාත්‍ය විජේදාසත් මාට්ටු - හරක් කටාගේ බිරිඳට සල්ලි දීලා තියෙන්නේ විජේදාසට අයිති නිවසකදි
සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘හරක් කටා’ නමැත්තාට විශේෂ වරප්‍රසාද ලබාදීම වෙනුවෙන් රුපියල් කෝටි 12ක අල්ලසක් ලබාගැනීමේ සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින නීතිඥ රඛිත රාජපක්ෂ ඇතුළු සැකකරුවන් තිදෙනා ලබන 17 වැනි දින තෙක් නැවත රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා ඊයේ (03) දින නියෝග කර තිබුණා.
එසේ නැවත රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ හිටපු අධිකරණ අමාත්‍යවරයෙකුගේ පුත් නීතිඥ රඛිත නිර්මල රාජපක්ෂ, සමගි ජන බලවේගයේ හෝරණ ආසන සංවිධායක චරිත වසන්ත කුමාර අබේසිංහ සහ සිවිල් ගුවන් සේවා අධිකාරියේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන වරුෂහැන්නැදිගේ අරුණ ශ්‍රී චතුරංග යන තිදෙනායි.
මෙහිදී සැකකරුවන් වෙනුවෙන් ඉදිරිපත් කළ ඇප ඉල්ලීම් සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, ඔවුන්ට ඇප ලබාදීමට තරම් ප්‍රමාණවත් කරුණු ඉදිරිපත් වී නොමැති බව සඳහන් කරමින් එම ඉල්ලීම් ප්‍රතික්ෂේප කිරීමට කටයුතු කර තිබුණා.
මේ අතර අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව අධිකරණයට කරුණු දක්වමින් විශේෂ කරුණු හෙළි කිරීමක් සිදු කර ඇත. ඒ අඳාළ අල්ලස් මුදල ලබාගැනීමට සැකකරුවන් ඩුබායි රාජ්‍යයට ගිය අවස්ථාවේදී, හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ද එහි රැඳී සිට ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇති බවයි.
එමෙන්ම අල්ලස් කොමිසම සඳහා පෙනී සිටි සහකාර අධ්යක්ෂ අනුෂා සම්බන්ධප්පෙරුම මහත්මිය අධිකරණය හමුවේ සඳහන් කළේ, මෙම මහා පරිමාණ අල්ලස් ගනුදෙනුවට විජයදාස රාජපක්ෂ මහතාගේ කිසියම් සම්බන්ධතාවයක් හෝ මැදිහත්වීමක් පවතින්නේද යන්න පිළිබඳව මේ වන විට පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි.
ඒ අනුව පළවෙනි සැකකරු ලබාගත් ලක්ෂ 200 ක මුදල යළි හර්බි හෙවත් නිර්මල බණ්ඩාර යන තැනැත්තාගේ යහළුවකු වන ලසන්ත මංජුල ද සිල්වා හරහා මෙම සිද්ධියේ පළමු පැමිණිලිකාරිය වන හරක් කටාගේ බිරිඳ වන මහේෂිකා මධුවන්ති යන අයට ලබා දී ඇති බවත් එම මුදල ලබා දී තිබෙන තැන පිළිබදවද අනාවරණය වීමේදී එය නුගේගොඩ, නාවල පාර, විජයබා මාවත නැමති ස්ථානයේදි බවත් හෙළිව ඇත.
කෙසේ වෙතත් මෙම නිවස අයිති විජේදාස රාජපක්ෂට බවත් අනාවරණය වී ඇති බව සඳහන්.
එසේම මෙම සැකකරුවන් ලබා ගන්නා ලද මෙම මුදල් උණ්ඩියල් ක්‍රමය ඔස්සේ ගෙනවිත් ඇති බවත් සඳහන්.
ඒ අනුව ඒ සම්බන්ධයෙන් ද විමර්ශනයක් පවත්වන අතර මෙම සැකකරුවන් තිදෙනා දුරකථන සම්බන්ධතා පවත්වනු ලැබු ජංගම දුරකථන සහ වට්සැප් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරන බව සඳහන්.