සහලින් රට ස්වයංපෝෂිත වුණත් සහල් ආනයනය කරන හේතුව ඇමති ලාල්කාන්ත හෙළි කරයි
ආහාර නාස්තිය අවම කිරීම සඳහා ජාතික මට්ටමේ වැඩපිළිවෙළක් සකස් කළ යුතු බව කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පැවසීය. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සංවිධානය කළ Agri Taste 2026 ආහාර ප්‍රදර්ශනයේ සමාප්ති උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කැපවීම හේතුවෙන් යම් මට්ටමකට ශ්‍රී ලංකාව සහල් නිෂ්පාදනයෙන් ස්වයංපෝෂිත රටක් බව ප්‍රකාශ කළ හැකි බවද අමාත්‍යවරයා පැවසීය. කීරි සම්බා ඇතුළු උසස් තත්ත්වයේ සහල් ප්‍රභේද හඳුන්වා දී තිබුණද, ඒවා වගා කිරීම සඳහා බහුතර ගොවීන් ප්‍රමාණවත් උනන්දුවක් නොදක්වන බැවින් එම සහල් වර්ග ආනයනය කිරීමට සිදුවන බවද ඔහු සඳහන් කළේය.
රට තුළ ජනතාව වැඩි වශයෙන් පරිභෝජනය කරන සහල් වර්ග නිෂ්පාදනය කිරීමේ හැකියාව පවතින නමුත්, සංචාරක කර්මාන්තය ඇතුළු විශේෂ අවශ්‍යතා සඳහා භාවිත කරන ඇතැම් උසස් සහල් වර්ග තවදුරටත් ආනයනය කිරීමට සිදුවන බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
තවද, සහල් අමුද්‍රව්‍යයක් ලෙස යොදා ගනිමින් නව ආහාර නිෂ්පාදන සංවර්ධනය කිරීම සඳහා සුළු, මධ්‍යම හා මහා පරිමාණ ආහාර නිෂ්පාදකයන් වැඩි අවධානයක් යොමු කළ යුතු බවත්, සහල් ආශ්‍රිත ආහාර සංස්කෘතියක් ගොඩනැගීම කාලෝචිත අවශ්‍යතාවක් බවත් ඔහු අවධාරණය කළේය.
මෙම අවස්ථාවට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය තුෂාර වික්‍රමරත්න මහතා ඇතුළු නිලධාරීන්, ආහාර නිෂ්පාදකයන් සහ විශාල පිරිසක් එක්ව සිටියහ.