ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ශ්‍රී ලංකාවට විශේෂ නිල ඇගයීමක් - දකුණු-නැගෙනහිර ආසියානු කලාපයෙන්ම දෙවැනි ස්ථානයට
ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් ශ්‍රී ලංකාවට විශේෂ නිල ඇගයීම් සහතිකයක් පිරිනමා ඇත.
ඒ මැලේරියාව සහ මව්වරුන් හා අලුත උපන් බිළිඳුන්ගේ පිටගැස්ම තුරන් කළ තත්ත්වය වසර 10ක් පුරා අඛණ්ඩව පවත්වාගෙන යාම වෙනුවෙන්.
මෙම ඇගයීම් සහතිකය ටිමෝර්-ලෙස්තේ හි ඩිලි නුවර පැවැත්වෙන ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසියේදී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වෙත පිරිනමා ඇති බව වාර්තා වේ.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ටෙඩ්‍රොස් අධානොම් ගෙබ්‍රියේසස් මහතා විසින් එම සහතිකය පිරිනමා තිබෙන අතර, එය WHO දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කාර්යාලයේ භාරකාර නිලධාරී ආචාර්ය නිලේෂ් බුද්ධා මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති බව සඳහන්.
ඊළඟ අවුරුද්දේ 6 ශ්‍රේණියට යන ළමයින්ට සුබ ආරංචියක් - පාසල් අධ්‍යාපනයේ සහ වෘත්තීය අධ්‍යාපනයේ කරන්න යන වෙනස මෙන්න
මෙරට 2016 වසරේදී ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මැලේරියාවෙන් තොර රටක් වශයෙන් නිල වශයෙන් සහතික කර ඇත.
එතැන් සිට වසර 10ක් පුරා රට තුළ මැලේරියාව යළි ව්‍යාප්ත වීම වළක්වා ගනිමින් එම තත්ත්වය අඛණ්ඩව පවත්වාගෙන යාම මෙහිදී ඇගයීමට ලක්ව තිබෙනවා.
එමෙන්ම මාලදිවයිනෙන් පසුව දකුණු-නැගෙනහිර ආසියානු කලාපයේ මැලේරියාව තුරන් කළ දෙවන රට බවට ද ශ්‍රී ලංකාව පත්ව ඇත.
ඊට අමතරව මව්වරුන් සහ අලුත උපන් බිළිඳුන්ගේ පිටගැස්ම (Maternal and Neonatal Tetanus) සාර්ථකව තුරන් කළ තත්ත්වයද ශ්‍රී ලංකාව වසර 10ක් පුරා අඛණ්ඩව පවත්වාගෙන යාම මෙහිදී ඇගයීමට භාජනය කර ඇත.
සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරන්නේ ගර්භණී මව්වරුන් සඳහා ලබාදෙන පිටගැස්ම ප්‍රතිශක්තිකරණ එන්නත් වැඩසටහනද රට පුරා අඛණ්ඩව ක්‍රියාත්මක වන බවයි.
එසේම ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාව සතු ශක්තිමත් සහ ප්‍රත්‍යස්ථ ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය, අඛණ්ඩ ජාතික කැපවීම, ඉහළ ප්‍රතිශක්තිකරණ වැඩසටහන් සහ කාර්යක්ෂම රෝග විමර්ශන සහ පාලන පද්ධතිය නිසා මෙම සෞඛ්‍ය ජයග්‍රහණ අත්කර ගැනීමට සහ ඒවා දිගුකාලීනව පවත්වා ගැනීමට හැකියාව ලැබී තිබෙන බවයි.
තවද ලෝක සෞඛ්‍ය සංවිධානය වැඩිදුරටත් සඳහන් කර තිබුණේ මෙම ජයග්‍රහණ හුදෙක් සෞඛ්‍ය සන්ධිස්ථාන පමණක් නොව, ශ්‍රී ලාංකීය ජනතාවගේ ජීවිත සුරක්ෂිත කිරීම සහ වඩාත් සෞඛ්‍ය සම්පන්න අනාගතයක් නිර්මාණය කිරීම සහතික කරන්නක් බවයි.